Saturday 28 July 2012

එන්න එළියට සොඳුර දැන් - කසුන් කල්හාර (Enna Eliyata Sondura Den - Kasun Kalhara)

අවර ගීත මුල් බැස ගත් වත්මන් සිංහල ගීත කලාව හරි තැනට ඔසවා තබන්නට වෙර දරන යොවුන් පරපුරේ පුරෝගාමී ගීත රචකයෙකි ඔහු, නමින් රවී සිරිවර්ධන වේ. මින් පෙර අප ඉදිරිපත් කළ දයාන් විතාරණ විසින් ගයන "අපි ආයේ දවසක", ඔහුම ගයන "ඔබෙ සුසුම් පවන්", ඔහු සමඟින් නෙලූ අධිකාරි ගයන "වසත් කාලය මනරම්", ක්‍රිශාන්ත එරන්දක විසින් ගයන "ඉක්මන් නොවුනානම්", සෝමතිලක ජයමහ ශූරීන් ගයන "අවසාන සැඳෑ සක්මන" සහ අද අප ඉදිරිපත් කරන යොවුන් සංගීත පරපුරේ නියමුවා බඳු වූ කසුන් කල්හාර ජයවර්ධන විසින් ගයන "එන්න එළියට සොඳුර දැන්" යනාදී ගීත ඇතුලුව මනරම් ගීත කිහිපයකම ගී පද නිමැවුම්කරුවා ඔහුයි. යුග කීපයකම ගායන ශිල්පීන්ට ගී ලියන්නට භාග්‍යවන්ත වූ ඔහු ගීත සමුච්ච දෙකක් අපට උරුම කර දී ඇත. ඒවා නමින් "වසත් කාලය මනරම්" සහ "මිලේනියම් පෙම්වතුන්" වේ.

"එන්න එළියට සොඳුර දැන්" ගීතය රවී සිරිවර්ධනගේ දෙවන ගීත සමුච්චයෙහි එන ගීයකි. ගීතයට සංගීතමය දායකත්වය අපට සිටින තවත් වටිනා සංගීතඥයකු වන කරුණාරත්න විජේවර්ධනයන් විසිනි.

එන්න එළියට සොඳුර දැන්
ඔබ පතා තරුමල් අවදියෙන්
සඳ ඔබට පරදින හැටි බලන්නට
එන්න සොඳුරිය දොර ඇරන්..

වැව් කුමුදු මල් දිය මත හිඳන්
පුර හඳට ළං වී සීරුවෙන්
නිල් සළු ඇඳන් වැව ‍රැළි නඟයි
රෑ කුමරියට බැඳි ප්‍රේමයෙන්
ඔබ විතරමයි අඩු මේ ‍රැයට
දැන් එන්න එළියට දොර ඇරන්..

සීතල සුළං සී පද කියයි
වැව් ඉවුර මත මදහාසයෙන්
තුරුලිය සෙමෙන් කෙහෙ‍රැළි කඩයි
මිදුම් යහන අනුරාගයෙන්
ඔබ විතරමයි අඩු මේ ‍රැයට
දැන් එන්න එළියට දොර ඇරන්..

පද: රවී සිරිවර්ධන
තනු: කරුණාරත්න විජේවර්ධන
හඬ: කසුන් කල්හාර ජයවර්ධන

Audio: http://www.mediafire.com/?2qwn5uwud97cea1
Video: http://www.youtube.com/watch?v=j6ORgZeSP-4

(මෙම ගීතය සම්බන්ධව ඔබ දන්නා දේ අප සමඟ බෙදාගන්න.)

No comments:

Post a Comment

මේ ගීතය ගැන ඔබ දන්නා දේ සහ ඔබගේ අනෙකුත් අදහස් අප සමඟ බෙදාගන්නා වූ ඔබට බොහෝම ස්තූතියි.