Saturday 28 July 2012

ගිනි මලක් - කිත්සිරි ජයසේකර (Gini Malak - Kithsiri Jayasekara)

පද රචකයන් කිහිප දෙනෙකු එකම ගීයට දායක වූ අවස්ථාවන් සිංහල ගීත ඉතිහාසයේ ඉතා විරලය. කිත්සිරි ජයසේකර නම් ගායකයා මුලු රටම හඳුනාගත් මේ ගීතයට පද රචකයන් දෙදෙනෙකු දායක වී ඇත. වර්තමානයේ විශ්ව විද්‍යයාල ආචාර්යවරුන් වන ඔවුන් දෙදෙනා විශ්ව විද්‍යාලය අසල බෝඩිමක නතර වී සිටියේලු. දිනක් මේ දෙදෙන කාමරයේ සිටින වෙලාවක පණිවිඩයක් සඳහා මොවුන් මුණ ගැසීමට ලස්සන ගෑණු ළමයෙක් පැමිණියේලු. අදාල කාරණයෙන් පසු ඇය ගිය පසු මොවුන් සිත රජ කළේ ඇය පමණක් වීලු. මෙලෙස ඇය ගැන සිතමින් සිටින අතරතුර ඇය නැවතත් පැමිණියේලු. එදා ඔවුන්ට දැනුණු හැඟීම දෙදෙනාගේම අදහස් එක් කොට පද රචනයකට පෙරලුණේලු.

ගිනි මලක් පිපුණාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිළිසුණා පුරපස
පිපුණි දොරකඩ රන් මලක්

මදහසක් දිලිසීය මුව අග
නිමේෂයකට කඩ ඉමක් ඇර
නමුදු ඒ හස කඩා කඩඉම්
ගෙනගියා අප අනන්තය වෙත

දුටිමු අප ඇගෙ ඇසිපියන් යට
දෙසිත් කැළඹූ නිල් උපුල් යුග
දැවි දැවී සැනසුනා අප සිත්
තැබී ඈ තව පියවරක් දුර

පද: ධම්ම දිසානායක, කීර්ති ආරියදාස
තනු: ලලිත් වික්‍රම
හඬ: කිත්සිරි ජයසේකර

Audio: http://www.mediafire.com/?equ9ndtatmoqrdc
Video: http://www.youtube.com/watch?v=yptpshCL7HM
Live singing: http://www.youtube.com/watch?v=bCUjbFpRkIA

(මෙම ගීතය සම්බන්ධව ඔබ දන්නා දේ අප සමඟ බෙදාගන්න.)

කවුද ඔබ කවුරුන්දෝ - එච්.අර්.ජෝතිපාල (Kawuda Oba Kawurundo - H.R.Jothipala)



එච්.අර්.ජෝතිපාල යන නාමය නොදන්නා කිසිවකු අප රටේ සිටිය නොහැක. එහෙත් ජෝතිපාල විසි පස්වැනි ගුණානුස්මරණය යෙදී ඇති අද දිනයේ ඔහු පිලිබඳ කෙටි සටහනක් තබන්නට කැමැත්තෙමු. 

* සම්පූර්ණ නම - හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල
* භාවිත කළ නම - එච්. ආර්. ජෝතිපාල
* උපන් දිනය - 1936 පෙබරවාරි 12
* මුලින්ම ගැයු ගීතය - වසන්තා සන්දනායක සමඟ ‘මහවැලි නදියේ’ (එහි ‘තොටියෝ’ යන පදය)
* මුලින්ම ගැයු ඒකල ගීතය - ස්ටැන්ලි ඔමාර් පද රචනය කර සංගීතවත් කළ “මගෙ රන් රාජිණි” (1954)
* මුලින්ම ගැයු චිත්‍රපට ගීතය - “සුරතලී” චිත්‍රපටයේ “සිරිය මෙ සාරා” (1956)
* මුලින්ම රඟපෑ චිත්‍රපටය - ‘සුදු සඳේ කළු වලා’ (1963)
* මුලින්ම ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටය - ‘ඇතුල්වීම තහනම්’
* මුලින්ම නිෂ්පාදනය කළ චිත්‍රපටය - ‘සුමිතුරෝ’ (1983)
* පැවැත් වූ ඒක පුද්ගල ගී ප්‍රසංගය - ‘ජෝති රාත්‍රිය’ (1980)
* ගී ගැයූ කැසට් පට ගණන - 115 ක් පමණ
* ගී ගැයූ චිත්‍රපට ගණන - 450 ක් පමණ
* දිනා ගත් සම්මාන - “දීපශිඛා” (ජනපි‍්‍රය ගායක - 1972) - රජත ජයන්ති සම්මානය (1974-76) - “සරසවිය” (හොඳම ගායක - 1983) - “සරසවිය” (හොඳම ගායක - 1986) - “මල්පියලි” (ජනපි‍්‍රය ගායක)
* ගැයූ ගීත ගණන - දස දහසකට වැඩියි
* වැඩිම යුග ගී ගණනක් ගැයූ ගායිකාව - ඇන්ජලින් ගුණතිලක
* වැඩිම ගීත ගණනක් රචනය කළ පද රචකයා - කරුණාරත්න අබේසේකර
* වැඩිම ගීත ගණනක් සංගීතවත් කළ සංගීතඥයා - පී. එල්. ඒ. සෝමපාල සහ සරත් දසනායක
* ජෝති ගැයූ වැඩිම ගීත ගණනක් තිරයේ නිරූපණය කළ නළුවා - විජය කුමාරතුංග
* සංචාරය කළ රටවල් - ඉතාලිය, ඉන්දියාව, සිංගප්පූරුව, එංගලන්තය, ඇමෙරිකාව, කැනඩාව, කුවේට්, ඩුබායි, මැලේසියාව ඇතුළු රටවල් කිහිපයක්ම
* අවසන් වරට ගී ගැයූ සංගීත ප්‍රසංගය - 1987 ජූලි 3 දා කතරගම ගම් උදාව ගීත ප්‍රසංගය
* අවසන් වරට වේදිකාව මත ගැයූ ගීතය - “පෘතුගීසිකාරයා”
* අවසන් සුසුම් හෙළූ දිනය - 1987 ජූලි 7 දා

ඔහු ගැයූ ඒ ගී සියල්ල
සව් සවන් පිනවමින්
නැඟූ පිළිරැව්ව
එකම ජන ගීයක් බවට පත්විය
පස් දසක දිවියක්
එම ජන ගීතයක්
ජන මනසේ සංධ්වනියක් වූ සේ ය.
ගොවි ගෝපි ජීවිතේ
හතර දිග මං මාවතේ
කම්හලේ වැඩපොළේ
මාර මාරුත මාරියාවේ
වෙහෙසෙනා දනන්ගේ
ජෝතිමත් ගී පදේ
අවසන් නොවේ, නොවේ...
රැව් පිළිරැව් නැඟේ... නැඟේ
(සිරිල් බී.පෙරේරා, 1987.09.02)

ජෝතිපාලයන්ට උපහාර පිණිස අද අප ඉදිරිපත් කරන "කවුද ඔබ කවුරුන්දෝ" ගීතය විල්ෆ්‍රඩ් සිල්වා අධ්‍යක්ෂණය කළ , ජෝතිපාලයන්ද රංගනයෙන් දායක වූ, 1974 දී තිරගත වූ "ශාන්ති" සිංහල චිත්‍රපටයේ අඩංගු ගීයකි. එච්. ආර්. ජෝතිපාල රඟමින් ගායනා කළ මේ ගීයේ ගී පද රචනය අකාලයේ අපෙන් උදුරා ගත් විශිෂ්ට රචක ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන්ගෙන් වන අතර සංගීත අධ්‍යක්ෂණය පී. එල්. ඒ. සෝමපාලයන්ගෙනි.

කවුද ඔබ කවුරුන්දෝ
මලක පිනි බිඳුවක්දෝ
නිහඬ වීල මන්දෝ
පවසන්නෙ මොනවාදෝ
සිතුවාට නැත සිතෙන්නේ..

මදහාස බැල්මෙන් තී මා මත් කරන්නේ
ඇයි කල්පනාවෙන් මෙන් නැත්ද නෙත් සලන්නේ
සඳ පායලා ආ ඒ ඔබදෝ වසන්තේ
සැළලිහිණි ගී පිළිරැව් හඬදෝ දසන්තේ
එදා සීගිරියෙහි ඇඳුණූ රුවක්දෝ..

වලාකුළ වගේ පීරූ හිස පිරිමදින්නම්
නෙලා ඕලු මානෙල් මල් ගෙල පළඳවන්නම්
මගේ ආදරේ සතුටින් පිලිගන්නවානම්
ඔබේ මෙන් දිවා රෑ මම් පණ සේ රකින්නම්
හිතාගන්න බෑ තාමත් ඔබ කාගේ කවුදෝ..

පද: ප්‍රේමකීර්ති ද අල්විස්
තනු: පී. එල්. ඒ. සෝමපාල
හඬ: එච්. ආර්. ජෝතිපාල
චිත්‍රපටය: ශාන්ති

Audio: http://www.mediafire.com/?b3o6grfa1fdf67j
Youtube Video: http://www.youtube.com/watch?v=gdWmcE9LNjQ

ජෝතිපාලයන් පිළිබඳ තොරතුරු සිළුමිණ පුවත්පතින් වන අතර වීඩියෝව youtube හී palithabatu ගෙනි.

විකිපීඩියා - එච්.අර්.ජෝතිපාල: http://si.wikipedia.org/wiki/එච්.ආර්._ජෝතිපාල

(මෙම ගීතය සම්බන්ධව හෝ ජෝතිපාලයන් පිළිබඳව ඔබ දන්නා දේ අප සමඟ බෙදාගන්න.)

එන්න එළියට සොඳුර දැන් - කසුන් කල්හාර (Enna Eliyata Sondura Den - Kasun Kalhara)

අවර ගීත මුල් බැස ගත් වත්මන් සිංහල ගීත කලාව හරි තැනට ඔසවා තබන්නට වෙර දරන යොවුන් පරපුරේ පුරෝගාමී ගීත රචකයෙකි ඔහු, නමින් රවී සිරිවර්ධන වේ. මින් පෙර අප ඉදිරිපත් කළ දයාන් විතාරණ විසින් ගයන "අපි ආයේ දවසක", ඔහුම ගයන "ඔබෙ සුසුම් පවන්", ඔහු සමඟින් නෙලූ අධිකාරි ගයන "වසත් කාලය මනරම්", ක්‍රිශාන්ත එරන්දක විසින් ගයන "ඉක්මන් නොවුනානම්", සෝමතිලක ජයමහ ශූරීන් ගයන "අවසාන සැඳෑ සක්මන" සහ අද අප ඉදිරිපත් කරන යොවුන් සංගීත පරපුරේ නියමුවා බඳු වූ කසුන් කල්හාර ජයවර්ධන විසින් ගයන "එන්න එළියට සොඳුර දැන්" යනාදී ගීත ඇතුලුව මනරම් ගීත කිහිපයකම ගී පද නිමැවුම්කරුවා ඔහුයි. යුග කීපයකම ගායන ශිල්පීන්ට ගී ලියන්නට භාග්‍යවන්ත වූ ඔහු ගීත සමුච්ච දෙකක් අපට උරුම කර දී ඇත. ඒවා නමින් "වසත් කාලය මනරම්" සහ "මිලේනියම් පෙම්වතුන්" වේ.

"එන්න එළියට සොඳුර දැන්" ගීතය රවී සිරිවර්ධනගේ දෙවන ගීත සමුච්චයෙහි එන ගීයකි. ගීතයට සංගීතමය දායකත්වය අපට සිටින තවත් වටිනා සංගීතඥයකු වන කරුණාරත්න විජේවර්ධනයන් විසිනි.

එන්න එළියට සොඳුර දැන්
ඔබ පතා තරුමල් අවදියෙන්
සඳ ඔබට පරදින හැටි බලන්නට
එන්න සොඳුරිය දොර ඇරන්..

වැව් කුමුදු මල් දිය මත හිඳන්
පුර හඳට ළං වී සීරුවෙන්
නිල් සළු ඇඳන් වැව ‍රැළි නඟයි
රෑ කුමරියට බැඳි ප්‍රේමයෙන්
ඔබ විතරමයි අඩු මේ ‍රැයට
දැන් එන්න එළියට දොර ඇරන්..

සීතල සුළං සී පද කියයි
වැව් ඉවුර මත මදහාසයෙන්
තුරුලිය සෙමෙන් කෙහෙ‍රැළි කඩයි
මිදුම් යහන අනුරාගයෙන්
ඔබ විතරමයි අඩු මේ ‍රැයට
දැන් එන්න එළියට දොර ඇරන්..

පද: රවී සිරිවර්ධන
තනු: කරුණාරත්න විජේවර්ධන
හඬ: කසුන් කල්හාර ජයවර්ධන

Audio: http://www.mediafire.com/?2qwn5uwud97cea1
Video: http://www.youtube.com/watch?v=j6ORgZeSP-4

(මෙම ගීතය සම්බන්ධව ඔබ දන්නා දේ අප සමඟ බෙදාගන්න.)

බලා හිඳිමි දුර ඈතක - නීලා වික්‍රමසිංහ (Balaa Hindimi Dura Ethaka - Neela Wickramasinghe)


අද අප කතා කරන්නට යන්නේ ගීය ගැනවත්, ගීය ගැයූ නීලා වික්‍රමසිංහ ගැනවත් ගීයට තනුව සහ සංගීතය යෙදූ ස්ටැන්ලි පීරිස් ගැනවත් නොව ලංකාවේ බිහි වූ ප්‍රථම කැසට්‌පටය වූ මිල්ටන් මල්ලවආරච්චි ගී ගැයූ "සඳෙන් එහා"හි ශබ්ද පරිපාලකයා වූ නැසී ගිය ඩොනල්ඩ් අයිවන් මහතා ගැනය. පුරෝගාමී ශබ්ද පරිපාලකයකු ලෙසින් වසර තිහකට අධික කාලයක්‌ සංගීත ක්‍ෂේත්‍රය වෙනුවෙන් අද්විතීය මෙහෙයක්‌ ඉටු කළ හෙතෙම සුවහසක්‌ සිත් සතන් පිනවූ මියුරු ගීතයන් කිහිපයකම පද රචකයාද වෙයි. අද අපගේ ගීතය වන "බලා හිඳිමි දුර ඈතක ඔබ" ඒ අතරින් බොහෝ ජනප්‍රිය වූවකි. ප්‍රියා සූරියසේන ගයන මගේ ළමැද සුව යහනක්‌ සහ හැරදා විමන් සිය මා පියන් ගීතත්, කීර්ති පැස්කුවල් ගයන ඔබ මා හමු වූ අවසන් දිනේ ගීතයත් ජනප්‍රිය වූ තවත් ගීත කිහිපයකි. සිංහල චිත්‍රපට විශාල ප්‍රමාණයකටද, ගීත තැටි පන්සියයකට අධිකවද නාද සංකලනයෙන් දායක වූ එතුමා පසුගිය වසරේ තම ශබ්ද පරිපාලක දිවියට පමණක් නොව සැබෑ දිවියටද සමුදී අපෙන් වෙන්වී ගියේය.
(මුලාශ්‍රය: දිවයින පුවත්පත)

බලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ
මා රඳවා පියවර මැන්නේ
හෙලා සුසුම් රැළි දුක සඟවන්නෙමි
මා කතරක තනි වූ වැන්නේ ...

වියෝ දුකින් හද ගිනි ඇවිලෙන්නේ
ගෙවූ යුගේ සිහිනයක්‌ වෙලා
කොහේ සිටන් හෝ යළි ඔබ එනතුරු
මම මෙහි හිඳිමි බලා ...

නෙතින් කඳුළු ගංගා උතුරන්නේ
නැත හදවත ගිනි තවම නිවී
ඔබේ සුවඳ යළි මට හිමිවනතුරු
මම මෙහි හිඳිමි බලා ...

පද: ඩොනල්ඩ් අයිවන්
තනු: ස්ටැන්ලි පීරිස්
හඬ: නීලා වික්‍රමසිංහ

Audio: http://www.mediafire.com/?x972qxbk8c133yc
Video: http://www.youtube.com/watch?v=gZuVtiuYuUE
Live singing: http://www.youtube.com/watch?v=cyDGrUTJZtU

(මෙම ගීතය සම්බන්ධව ඔබ දන්නා දේ අප සමඟ බෙදාගන්න.)

ඔබද මාද විය - මාලනී බුලත්සිංහල (Obama Maada Wiya - Malani Bulathsinhala)



සම්මානයෙන් පිදුම් ලද කේ.ඒ. විජේරත්නයන්ගේ අධ්‍යක්ෂණයෙන්, නිෂ්පාදනයෙන්, තිර රචනයෙන් සහ කැමරාකරණයෙන් බිහිව 1991 වසරේදී සම්භාව්‍ය මණ්‌ඩලයේ තිරගත වූ මධුසමය සිනමා පටය සඳහා අන්තර්ගත වූ මනරම් ගීයකි මෙය. විජය සහ මාලනී ප්‍රධාන රංගනයෙන් දායක වූ මධුසමය චිත්‍රපටය සඳහා ස්‌වර්ණ සංඛ, ඕ. සී. අයි. සී සහ සරසවි යන මුල් පෙලේ සම්මාන හතක්‌ හිමි විණි. සංගීතයෙන් චිත්‍රපටියට දායක වූ කේමදාසයනුත් ලයාන්විත ස්වරයෙන් ගීය ගැයූ මාලනි බුලත්සිංහල මහත්මියත් අද අප අතර නැත. එහෙත් බණ්ඩාර කේ. විජේතුංගයන්ගේ ගී පද වැලට බිහි වූ ඒ සදාතනික ගීය තවමත් අප අතරය.


ඔබම මාද විය
මාද ඔබම විය

සාගර වෙරළක පිය සටහන් මත
ඔබ මා සමගින් ගෙවූ දිනක්‌ ඇත
ඒ රන් හිරු රැස විහිදුණු මොහොතේ
ඔබම මාද විය මාද ඔබම විය

පවසා ගන්නට දහක් වදන් ඇත
පෙන්විය නොහැකි වූ දහස්‌ දසුන් විය
ඒ සැම මැද්දේ සිත් කය සිරවුණු
අහිංසකාවිය පමණ ද ඔබ ළඳ

ඔබමය මා සිත ඔබමය මා ගත
සිතින්ද සිරුරෙන්ද පොබ කළ හිමියනි
ඔබෙන් රකින්නට රහස්‌ කිසිත් නැත
එවන් කලෙක මා එපා නොකල මැන

පද: බණ්ඩාර කේ. විජේතුංග
හඬ: විශාරද මාලනී බුලත්සිංහල
තනු: ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
චිත්‍රපටිය: මධුසමය

Audio: http://www.mediafire.com/?bedfe1ulagmgore
Video: http://www.youtube.com/watch?v=vaNs1qoc1RE
Live singing by Sandhya Bulathsinhala:http://www.youtube.com/watch?v=pclEO3n9pHU

(මෙම ගීතය සම්බන්ධව ඔබ දන්නා දේ අප සමඟ බෙදාගන්න.)