Tuesday 3 July 2012

වෙහෙරක් වගේ - කරුණාරත්න දිවුල්ගනේ (Weherak Wage - Karunarathna Diwulgane)


ලොව ආදරණීයම වචනය "අම්මා". කොතෙකුත් ගී නිර්මාණ බිහි වූවත් ගයා නිම කළ නොහැකි තේමාව "අම්මා". පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ පද වැල ඒ අඩුව මඳක් හෝ පුරවා ඇත්තේය. "කඳුලක් වෙලා දුක් වූ කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ..", අපේ අම්මාවරුන් අප වෙනුවෙන් රැයක් දවාලක් නොතකා කෙතරම් දහඩිය කඳුලු හෙලා ඇත්ද?


වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්
දෙවොලක් වගේ දුක් ඇහු කෙනෙක්
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
වේ නම් ලොවේ
නුඹයි අපෙ අම්මේ...

සයුරක් වගේ කිරි දුන් කෙනෙක්
වෙරළක් වගේ පණ දුන් කෙනෙක්
ඔරුවක් වගේ අත දුන් කෙනෙක්
වේ නම් ලොවේ
නුඹයි අපෙ අම්මේ...

කඳුලක් වෙලා දුක් වූ කෙනෙක්
පියුමක් වෙලා තුටු වූ කෙනෙක්
ගඟුලක් වෙලා පැන් දුන් කෙනෙක්
වේ නම් ලොවේ
නුඹයි අපෙ අම්මේ...

පද: පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
හඬ: කරුණාරත්න දිවුල්ගනේ

Audio: http://www.mediafire.com/?kldj55jr7t6d1sd
Video: http://www.youtube.com/watch?v=yD5WAl_y65c

(මෙම ගීතය සම්බන්ධව ඔබ දන්නා දේ අප සමඟ බෙදාගන්න.)

අපි ආයේ දවසක - දයාන් විතාරණ (Api Aaye Dawasaka - Dayan Vitharana)


ඡායාරූප ශිල්පියෙකුව සිට ගායන ලෝකයට පිවිස නවමු රසබර ගීත රැසක් දායාද කළ ගායකයෙකි දයාන් විතාරණ. විරහ ගීතයටම උපන් කටහඬකට උරුමකම් කියන ඔහුගේ ගීත ගොන්න අතරින් සරල එහෙත් ලයාන්විත ගීතයක් අද අපි ඔබට ඉදිරිපත් කරමු. 

අපි ආයේ දවසක හමුවෙමුද මේ අද වාගේ..
දැන් ඉර ගිලෙයි මුහුදේ
කළුවර පිපෙයි දෙපසේ
වෙන් වෙමු ඉතින් හමුවන සිතින්
අපි ආයේ දවසක අද වාගේ...

අදින් පසු ඹබ ඹබට හිමි මඟ
ඉතින් මා මට උරැම තනි මඟ
ආයෙමත් හමුවන තුරා
දෙතැන ඉමු අපි මඟ බලා...

තුටින් හමුවුන සුහද බව අප
අරන් යමු අපෙ මතක මැදුරට
ආයෙමත් හමුවන තුරා
එකම තැනකදි ජීවිතේ...

පද: රවී සිරිවර්ධන
තනු සහ හඬ: දයාන් විතාරණ
සංගීතය: මහින්ද බණ්ඩාර

Audio: http://www.mediafire.com/?lg6cd9esoqsljz1
Video: http://www.youtube.com/watch?v=zBQU01WiKpU

(මෙම ගීතය සම්බන්ධව ඔබ දන්නා දේ අප සමඟ බෙදාගන්න.)

සුදු හංසිනී - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් (Sudu Hansini - Deepika Priyadarshani)


ජනප්‍රිය මෙන්ම ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පිනියක වන විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්‌ගේ නවතම ගීත ඇල්බමයෙහි එන "සුදු හංසිනී" ගීතය ප්‍රතිභාපූර්ණ ගීත රචක සුනිල් ආර් ගමගේ මහතාගේ පද රචනයක් වන අතර ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහයන්ගේ සංගීත හැඩ තලයෙන්ගෙන් පෝෂණය වූවකි. මේ ත්‍රිත්ව සුසංයෝගයෙන් අපට දායාද කෙරුණු "රාත්‍රිය වී", "කවිය ඔබ" වැනි ගීතයන් සේම මෙයද අප හදවත් තුළ දිගු කලක් පවතී යන්න අප විශ්වාසයයි.

සුදු හංසිනී...
ප්‍රේමය නමින් නුඹ වගේ මං
වින්ද දුක්‌ අනන්තයි...
සුදු හංසිනී...

විල් දිය තරම් ඇස කඳුලු ගැලුවා..
කල් බැලූ සිත සෙනෙහසම පැතුවා...
සිත එකලසක්‌ කරගන්න බැරි දා..
මට ප්‍රේමයද සරදමක්‌ වූවා..

රන් එලි වැටක සිත පහන් දල්වා..
මංමුලා කර කලුවරෙහි ගිල්වා..
සිත පෙම්හසින් අසරණම වූ දා..
මට මා ගැනම නොසිතුනේ මොනවා...

පද: සුනිල් ආර් ගමගේ
තනු: රෝහණ වීරසිංහ
හඬ: දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

Audio: http://www.mediafire.com/?f1jdxxz8nq8rc3j
Video: http://www.youtube.com/watch?v=kgALVWLisQ8

(මෙම ගීතය සම්බන්ධව ඔබ දන්නා දේ අප සමඟ බෙදාගන්න.)

සුදු නෙලුම කෝ - පණ්ඩිත් අමරදේව (Sudu Neluma Ko - W.D.Amaradewa)


එක්තරා රචකයෙක් ඈත දුෂ්කර පලාතක ගුරු සේවයේ නිරත වන අවධියේ දිනපතා ගමේ වැවෙන් මල් නෙලා හවසට පන්සල අසල මල් විකුණන කුඩා දැරිවියක් සිටියේලු. නිතර ඇස ගැටුනු මේ දැරිවිය පිලිබඳ දුක්බර ආරංචියක් දිනක ඔහු කණ වැටුණි. ඒ අවාසනාවන්ත දින අනෝරා මහ වැසි මැද මල් නෙලමින් සිටි දැරියව එතෙක් කල් ඇගේ ජීවිකාවට අත දුන් වැව විසින්ම ඩැහැගෙන තිබිණි. ඒ පිලිබඳ සංවේදී මනසින් පසුවන රචකයාගේ අතින් මේ දුක්බර සිදුවීම පද පෙලකට පෙරලිණි. රචකයා ඔබ අප කවුරුත් හඳුනන රත්න ශ්‍රි විජේසිංහයන්ය. ඒ පද පෙලට ගීයක ජීවය දුන්නේ පණ්ඩිත් අමරදේවයන්ය.

සුදු නෙලුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගණේ
පුන් පෝයදා පාළෝස්වකේ
මල් නෙලා විකුණූ පන්සලේ..

වැවට කලුවර යා උනා
සංසාර දුක බෝ උනා
නෙලූ මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පාවුනා..

සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙලුම් මල දැස පියවී
මෙහා ඉවුරට පාවුනා..

පද: රත්න ශ්‍රී විජේසිංහ
හඬ: පණ්ඩිත් අමරදේව

තනුව හා සංගීතයද පණ්ඩිත් අමරදේවයන්ගේම බව අපි විශ්වාස කරමු.

Audio: http://www.mediafire.com/?whdfeemys72amc7
Video: http://www.youtube.com/watch?v=dwN-v3wSt6Q

(මෙම ගීතය සම්බන්ධව ඔබ දන්නා දේ අප සමඟ බෙදාගන්න.)

සිනා පිපෙනා මේ වසන්තය - සමිතා මුදුන්කොටුව, ලක්ෂ්මන් විජේසේකර (Sina Pipena - Samitha Erandathi & Lakshman Wijesekara)


වසර ගණනාවකට පෙර විකාශය වූ ගංගා සහ නිශ්ශංක ටෙලි නාට්‍යයයේ අන්තර්ගත සුන්දර ගීතයකි 'සිනා පිපෙනා මේ වසන්තය'. කුමරාදාස සපුතන්ත්‍රිගේ පද පෙල හැඩ ගැන්වුයේ සමිතා මුදුන්කොටුවගේ මිහිරි හඬට මුසු වූ, ගීතයට තනුවෙන් සහ සංගීතයෙන් දායක වෙමින් නිශ්ශංකගේ චරිතයටද පණ පෙවූ ලක්ෂ්මන් විජේසේකරයන්ගේ මනරම් හඬිනි.

සිනා පිපෙනා මේ වසන්තය 
නෙලා දෝතින් මලක් සේ... සිනා සී..
ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සී... ඔබයි ගෙන ආවේ..
වසන්තය මලක් සේ...

නිබඳ සුවදයි ඔබ නිසා මට
ගමනකින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමන් නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල්..

නිසල සිතුවිලි සසල තුරුලේ
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැලද සැනසෙමි
තැනක සගවමි හද සෙනේ සුසුමින්..

පද: කුමාරදාස සපුතන්ත්‍රි
තනු: ලක්ෂ්මන් විජේසේකර 
හඬ: සමිතා මුදුන්කොටුව සහ ලක්ෂ්මන් විජේසේකර

Audio: http://www.mediafire.com/?4cdvgcnmj0mjh5v
Video: http://www.youtube.com/watch?v=B0wvmjDC_5k

(මෙම ගීතය සම්බන්ධව ඔබ දන්නා දේ අප සමඟ බෙදාගන්න.)

ළඳුනේ - අමරසිරි පීරිස් (Landune - Amarasiri Peiris)


ළඳුනේ ගීතය අමරසිරි පීරිස් නම් වාදකයා ගායකයෙක් ලෙස කරළියට ඔසවා තැබූ ගීතයයි. ගීතයෙන් කියැවෙන සමාජ යථාර්තය කටු ගෑවුනේ වෘත්තියෙන් නීතීඥයකු වූ රන්බණ්ඩා සෙනෙවිරත්න නම් කෘතහස්ත, සැබෑ මිනිසාගේ පෑන් තුඩිනි. අප මහා සංගීතවේදී ආචාර්ය කේමදාසයන්ගේ විස්කම් සංගීතයෙන් ඔපමට්ටම් වූ ඒ පද පෙලට ජීවය ලැබුණේ අමරසිරින්ගේ අමර සරයෙනි.

ලඳුනේ ලඳුනේ...
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ... ලඳුනේ
දෙනෝදහක් අතගත්තද
සැමියෙකු නැති ලඳුනේ
නෑයෙක් නැකම නොකියන 
වීදි සරන ලඳුනේ...ලඳුනේ
තෙල් මල් ගෙන දෝත පුරා 
මුණි කුටියට පියමංවන
‍ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබද පටාචාරාවකි
ඔබද කිසාගෝතමියකි

පිරිමින්ගේ පාප කදට
දෝස විදින ලඳුනේ
අදුරේ පව් කරන දනා
එළිය ලබන ලඳුනේ
ලැම පමනක් ලොවට පෙනෙන
ලය නොපෙනෙන ලඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ...

පද: අධිනීතීඥ රන්බණ්ඩා සෙනෙවිරත්න
තනු: ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
හඬ: විශාරද අමරසිරි පීරිස්

Audio: http://www.mediafire.com/?73i444cbzl4zmkn
Video: http://www.youtube.com/watch?v=XWdFUUrnq0U
Live singing: http://www.youtube.com/watch?v=Fq_kImxyMIU

(මෙම ගීතය සම්බන්ධව ඔබ දන්නා දේ අප සමඟ බෙදාගන්න.)