Tuesday 31 July 2012

වැස්සකට ඉඩ ඇතත් - නන්දා මාලිනී


(23 වැනි ප්‍රේමකීර්ති අනුස්මරණ දිනය අදයි (2012.07.31). මීට වසර තුනකට පෙර බන්ධුල නානායක්කාරවසම් මහතා විසින් දිවයිනට ලියන ලද ලිපියක් උපුටා දක්වනු කැමැත්තෙමු.)

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ, නුගේගොඩ තිලක උයනේ නිවසට මා ගියේ, එහි සිට හෝමාගම මළ ගෙදරට යන්නට වික්‌ටර් රත්නායකයන් ඇතුළු පිරිස එන නිසාය. 

පාරෙන් මඳක්‌ පහත පිහිටි "කුඩා නිවසේ" "කුඩා මිනිසා" වැතිර සිටියේය. හෝමාගමින් තවත් දුරක්‌ ඇතුළට ගිය විට, හදාගෙන යන අප්‍රකට නිවසේ, රසික ගායක පරම්පරාවක්‌ හැදූ සුප්‍රකට රචකයා සදහටම නිදිවනම සිටියේය.

හය හතර නොතේරුණු බිලිඳු පුතු සිය පියාගේ ගීයක්‌ සේ සරළව, මුත් හැඟීම්බරව සිටියේ. මට ඔහු දුටුවිට සිහිවූයේ පුතෙකු ගැන ඔහු ලියූ ගීයක්‌ නොව, තම දියණිය "සුරංගී" ගැන, ඇගේ කනට තෝඩු දමන දින කන්පෙති විදීමෙන් ඇතිවන වේදනාව ගැන, සැසැළී ඇගේ පියා ලියූ ගීයය. මුතු බෙල්ලාගේ මුතුව ගැන ලියන්නට ගොස්‌ ඔහු නතර වන්නේ

"කනට තෝඩු පළඳවනා
කන්පෙති කටුවෙන් විදිනා
දවසක්‌ එන බව හැඟුනා
තාත්තාට දුක හිතුනා" තැනිනි.

ඉතා රළුවට, ගොරෝසුවට පෙනෙන මේ මිනිසා ලියන දැ රෝසමලක පෙති මෙන් මොළකැටි වූයේ කෙසේද? 

නිතර සිනා නොවෙන, ගුප්ත මුහුණක්‌ ඇති ඔහු ලියන "පාන්කිරිත්තා" හෝ "ජැක්‌ ඇන්ඩ් ජිල්" ගීතයෙන් හිනා ලියලමින් බෝ වන්නේ කෙසේද?

ආදරය ගැන කිසිත් නොදන්නෙකු සේ සිටින ඔහු කුරුල්ලන්ට ගී, ඔබේ දෙතොල් පෙති ලිහී, තරුඅත්අකුරින්, ආදරණීය නේරංජනා, කෙදිනද කුඩු, රැලකින් තනිවී වැනි ගීත ලියන්නේ කෙසේද?

පන්සිල් නොගන්නා, හැම පෝයට තියා වෙසක්‌ පෝයට හෝ සාම්ප්‍රදායිකව පන්සල් නොයන්නා, සමිඳුපාමුල. දෙව්රම් වෙහෙරේ, නිවන් දුටු හිමි, අමාදහර වැනි බැතිබර ගී ලියන්නේ කෙසේද?

සැබවින්ම, ඉඳුරාම, ඉතාමත් කෙටි කාලයකදි ඔහු නොලියුවක්‌ නැති තරම්. බෝඩ්ගසා නව අත්හදාබැලීම් කළා යෑයි නොකීවාට, සඳට අහස ආදරේදෝ (වික්‌ටර් සුජාතා), කුදිරකාරම්මා (වික්‌ටර් සුජාතා) කුණ්‌ඩුමනී (ෆේ‍රඩී සිල්වා) පුංචිහාමු (වික්‌ටර්) තනිතරුවේ වැනි ගීත රැසකින් හේ අමුතු අමුතු දැ කළේය.

මා මුලින්ම ඔහු දුටුවේ 1980 පෙබරවාරි මාසයේ, මාතර රුහුණු සේවය පිහිටා තිබූ විෙ-සිංහ වලව්වේදීය. "බයිසිකල් පද්දනවා" කීවාට කාර් එකක "පද්දවන්න" යෑයි අපි නොකියමු. මා රුහුණු සේවයට යන විට කාර්යාල වේලාව නිමව සවස 6.00 පමණ වී තිබුණි. පැරණි විසල් බොනට්‌ටුවක්‌ ඇති "පොන්ටියෑක්‌" කාර් එකක පාතාක බොනට්‌ටුවේ දිග ඇදී, මී අඹ ගෙඩියක්‌ සූප්පු කරමින් "කුඩා මිනිසා" "මාව පද්දවපන්" යෑයි රථයේ රියදුරු අසුනේ සිටි සගයාට බෙල්ල ඇතුලට දමා කෑ ගසා කියා යළි බොනට්‌ටුවේ හාන්සි විය.

මාතර, රුහුණු සේවය අද්දර, පඹුරනට යන පාරේ. කුමාරතුංග මාවතේ යනෙන සියල්ලෝම මේ "කාර් පැද්දීම" බලා සිනාසුනහ.

"අද එයා සම්බවෙන්න බෑ. හෙට උදේ ඔෆිස්‌ එකට එන්න..." මා ඔහු හමුවට ආ අවශ්‍යතාව දැනගත් අයකු කීයේය.

පසුදා පාන්දර රුහුණු සේවයට ගිය විට එහි "කටහඬ පරීක්‌ෂණයට සෙනග පැමිණ සිටියහ. මම ඔහු හමුවීමි. මගේ කවි පොතේ කවි 5 ක්‌ කියා වූ ඔහු පසුවදන ලියන්නට පටන් ගත්තේය.

"තව කවි 35 ක්‌ තියෙනවා..." ම කීවෙමි. 

"මේ ඇති" ඔහු සැරෙන් කීය.

ඔහු අපූරු පසුවදනක්‌ ලියා

"උඔට කතා කරන්න පුළුවන්ද බය නැතුව, මයික්‌ එකක්‌ ළඟ?"

"මම විවාද කණ්‌ඩායමේ එහෙම ඉන්නවා" Aමාසඑසදබ සඳහා පැමිණි මිතුරන්ට මා කීවේ ප්‍රේමකීර්ති ද අල්විස්‌ හමුවීමට ආවා කියාය. දැන් ඔහු මාවත් කටහඬ පරීක්‌ෂණයට දමන්නට සූදානමිනි.

මා කිසිත් නොදැන රුහුණු සේවයට පැමිණියත්, යාළුවන් නොමනා දෙයක්‌ හිතාද? සිතන්නට වෙලා නැත. මගේ කොලරයෙන් ඇදගෙන ඔහු ගියේ ,ධභ AෂR, යෑයි රතුපාටින් ලයිට්‌ දමා තිබූ දොර ළඟටය. ස්‌ටුඩියෝවේ දොර ඇරියේ මොන වීරයාදැයි කියා බලන්නට කටහඬ පරීක්‌ෂණය භාරව සිටි හේමජිත් ප්‍රනාන්දු මහතා දොර ළඟට ආවේය.

"මූට මොනව හරි පුළුවන් එකෙක්‌ වැඩක්‌ ගනිං, යන්නං..."

මාව මැදිරියට තල්ලු කර දැමූ ඔහු දොර වසා අතුරුදන් වුනි. කටහඬ පරීක්‌ෂණයෙන් තේරී එදාම රුහුණු සේවයේ සවස "සැඳෑමිහිර" සජීවී වැඩ සටහනේ නිවේදන සඳහා තෝරා ගත්තා යෑයි කියා යන්නට, තුති පුදන්නට ඔහු සෙවූ මුත් සොයාගත නොහැකි විය.

දිගින් දිගටම කොළඹදී උත්සවවලදී, රූපවාහිනියේදී, බස්‌රියේදී හමුවූවද ඔහු නාඳුනන්නෙක්‌ ලෙසම සිටියේය. සැමදා මා හිනාහෙන මුත් ඔහු මාව ගණන් නොගන්නා නිසාත්, මා හඳුනාගන්නට බැරිව ඇතැයි ද කියා සිතා, සුනිල් ආරියරත්නයන්ගේ පොත් දොරට වැඩුමක නන්දා මාලනියගේ ගායනයක්‌ සඳහා නිවේදන කටයුත්තෙන් වේදිකාවෙන් බැස එනවිට මුහුණට මුහුණ හමුවූ විට අහක බලාගෙන ගියෙමි. එක්‌වරම මා පසෙකට ඇද බඩට ඉතා වැරෙන් පහරක්‌ ගසා කොහේද යකෝ අහක බලන් යන්නෙ? ගාල්ලෙ ඉඳන්ද මාතර ඉඳන්ද පාත් වුණේ" යෑයි අවට සිටියවුන්ද හිනස්‌සමින් ගිගිරීය.

එතුවක්‌ මා දුටු විට නාඳුනන සේ අහක බැලූ මගේ සෑම සිනාවක්‌ම මවෙත ආපසු එවූ ඔහු එකම එක වරක්‌ මා අහක බැලූ විට, පෙර සියලු හමුවීම්හි "හඳුනාගැනීම්" සර්වප්‍රකාරයෙන්ම සනාථ කළේ එලෙසටය.

ඔහු මහ පුදුම මිනිසෙකි. කටහඬ, උදැසනක්‌ සේ පිරිසිදු පැහැදිලි, අකිලිටි, තියුණු ඒකකි. ඔහුගේ ගී හෝ කවි හෝ පිටපත් ලිවීම අතිශය රමණීය විය. "අඳුන" වැනි බුද්ධියට අතවනන විචාරාත්මක විසිතුරු වැඩසටහන් මෙන්ම "සම්පත් සාදය" වැනි වාණිජ වැඩසටහන්ද ඔහු ඉදිරිපත් කළේ අන්ත දෙකක වැඩ සටහන් ලෙසින් නොවේ. අද මෙන් විවිධ ප්‍රසංග හා දොරට වැඩුම් හෝ දැවැන්ත උළෙල යන්හි පිටපත් ලියා නිවේදකට දිය යුතු නොවේ. ප්‍රේමකීර්ති ද අල්විස්‌ට අවශ්‍ය වන්නේ මයික්‍රෆොaනය පමණකි. "අකුරක්‌" ලියූ කොලයක්‌ අතේ නැතිව ඔහු "අකුරට" වැඩ සටහන විශිෂ්ටව නිමා කරන්නෙකි.

"සිතින් මා නොසැලී", "සමනලයා මල හා ළමයා" වැනි ගීතවල තනුව ලා ලා ලා ලෙස ස්‌ටැන්ලි පීරිස්‌ හා සරත් ද අල්විස්‌ කියද්දී විනාඩියෙන් වචන ඇමිනුවේ ඔහුය. මා එක්‌කලා අමනාප වී දබර, දූගෙ තාත්තා එන්නේ නෑ ගෙදර" වැනි ගීතවලින් ඔහු ඒ ඉරණමට ලක්‌ නොවූවන් පවා හැඬවූ අතර, ඒ නපුරු තාත්තලා කීයක්‌ නම් යළි ගෙදර එන්නට ඇත්ද?

"ස" ප්‍රසංගයට ගොස්‌, නැගෙනහිර වෙරළේ සැඳෑවේ වික්‌ටර් රත්නායකයන් හා සපිරිවර සමඟ සිටි දවසක "තනි තරුවේ" "තනිතරුවේ" කියන අහසට කෑ ගසමින් ප්‍රේමකීර්ති සිටි මොහොතක වෙරළේ ලියා, පසුව එය දියෙන් වැකුණු විට පුංචි කරදහියක ලියූ "තනි තරුවේ" ගීතය සේම, අත්තිඩියේ, ගොම්මනේ මාළු බාමින් දයා විෙ-සේකර, වික්‌ටර් ඇතුළු සහෘදයන් සමඟ සිටිද්දී ඝන අඳුරේ, සගයන්ගෙන් ඉල්ලාගත් ෆොaඒසස්‌ සිගරැට්‌ටුව තදින් උරා ඇති කරගත් එළියෙන් පුංචි තුන්ඩුවක තත්පර ගණනින් ලියූ ප්‍රේම පරාදීසේ ගීය මෙන්ම ටයිප් රයිටරයේම එක්‌වනම ටයිප් කර මර්වින් පෙරේරාට දුන් "ජීවිතයම මහ පාළුගෙයක්‌" වැනි ගී විශ්මිත පබැඳුම් නොවේද?

1989 ජූලි 30 වැනිදාට මම යළිත් ඔබ හා හඬමින්ම සිටියෙමි. නිදි වැරූ, කළුවූ නළලින් වික්‌ටර් අයියා දෑසින්, පැමිණෙන්න හා කතා කරයි. මාලනී බුලත්සිංහල කඩා වැටෙන කඳුළු සඟවන්නට නිරර්ථක වෙහෙසක යෙදුනේය. කලා භවනේ යෝධ බිත්ති දිගට ඔහුගේ කුඩා දේහය ඇදී, විශාල වී, විකෘති වී මට සිහිනයෙන් මෙන් පෙනේ. බියවැදී හිඳ, පියවි සිහියට එන්නට රෝහණ හෝ කුලේ අයියා ළඟට යමි. ධර්මසිරි ගමගේ මහතා කිසිවක්‌ සිදු නොවුන සේ තද කරගත් හැඟුමින් යම් යම් කටයුතු වල යෙදෙයි.

කලාභවනේ සිට බොරැලල් කනත්ත දක්‌වා යන්නට අවමඟුල් පෙරහැර පටන් ගනියි. ඉතා සෙමෙන් ඇදෙන පෙරහැර තුළ මට දැඩි නොඉවසිලි ගති ඇති වෙයි. හිමින් යන්නට බැරි වේ. විවිධ මතක මා හිත හූරාගෙන පුපුරුවන්නට එයි. බිමට නැමූ සෝබර මුහුණින්, කලාකරුවෝ, රසිකයෝ, විද්වත්තු කලාභවනේ සිට බොරැල්ලට ඉබි ගමනේ පෙරහැරේ යති.

"තුවක්‌කුවක්‌ විතරවත් උස නැති මුත් මහා වැඩ කළ, මේ පුංචි මිනිසාට, තුවක්‌කුවෙන් වෙඩි තිබ්බේ ඇයි?"

දෙසුම පවත්වන සහෝදර ගීත රචක සුනිල් ආරියරත්න අසයි.

චිතකයට ගිනි තබන්නට පෙර ප්‍රේමකීර්ති කටහඬ ඇසේ. "කොළඹ 7, ටොරින්ටන් චතුරස්‍රයේ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ පදිංචි සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස්‌ විසිනි...."

ඒ සැරිසර සමාප්ති කථනයයි.

ඉන් අනතුරුව චිතකය ඇවිලී දුම් අහසට නැගෙද්දී, ප්‍රේමකීර්ති ලියූ වික්‌ටර් ගැයූ "ප්‍රියේ ඔබම උපනුපන් ජාති හමුවේවා..." ගීතය හිත් පාරවමින් දෝංකාර දෙයි.

"පුංචි කුහුඹුවන්ටත් තියේ උන් හෙවනැල්ල".

"බිඳී ගිය මුත් බඳුන් අතින් දිය බොනු හැකිය."

ඔහු එසේ ලීවාට, අතින් දිය බොනු හැකි යෑයි කීවාට, ඒ ධර්මතාවය ඔහුට යෙදිය නොහැකිය. ප්‍රේමය, කීර්තිය ඉතිරි කොට ද අල්විස්‌ සමුගෙනය.

- බන්ධුල නානායක්‌කාරවසම්

(2009 ජූලි මස 26 දින පල වූ දිවයින පුවත්පතින් උපුටා ගත්තකි.)

වැස්සකට ඉඩ ඇතත් අහස් කුස දස අතම
හිරුට එපමණ කුමට පුංචි පෙදෙසක් ඇතිය
සිනාසී සිනාසී දෙතොල් ඉරි තැළෙද්දී
අඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට

පුංචි කුහුඹුවන්ටත් තියේ උන් හෙවනැල්ල
බිඳී ගියමුත් බඳුන් අතින් දිය බොනු හැකිය
ඔබට මා මටද ඔබ හමුවුනෝතින්
සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන

සයුර ගොඩ එන තුරා කඳු මුදුන් ඇත උසට
ගලන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවෙද
ඔබට මා මටද ඔබ හමුවුනෝතින්
සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන

පද: ප්‍රේමකීර්ති ද අල්විස්
තනු: එච්.එම්.ජයවර්ධන
හඬ: නන්දා මාලිනී

Audio: http://www.mediafire.com/?3ngxf033hjht9th
Video: http://www.youtube.com/watch?v=HQ-lMKcBdAw

(මෙම ගීතය පිළිබඳව හා ප්‍රේමකීර්ති කලාකරුවාණන් පිලිබඳ ඔබ දන්නා දේ සහ ඔබට හැඟෙන දේ අප සමඟ බෙදාගන්න.)

ආදර හැඟුම් - පණ්ඩිත් අමරදේව


ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන් විසින් ගායනා කරන ලද , සෝමදාස ඇල්විටිගල මහතා සංගීතවත් කරන ලද "ආදර හැඟුම්"කියන ගීතය මම හිතන්නෙ හැමෝම අහල ඇති. මෙම ගීතය හැදුනෙ කොහොමද ඒ අත් දැකීම රචකයාට ලැබුන විදය හිතනකොටත් පුදුමයි. හොදයි මෙන්න මේකයි කතාව.

අපේ මේ ගීය රචනා කරපු දයානන්ද ගුණවර්ධන මහතා දීර්ඝ කාලයක ප්‍රේම සම්බන්ධකින් අනතුරුව විවාහ වෙන්න සූදානම් උනා. විවාහ දිනයේ විවාහ උත්සව කටයුතු වලින් පස්සෙ මනාල යුවල සුභ මොහොතන් ගියා හනිමූන් එක ගතකරන්න තානායමට. දැන් මම ඔයාලගෙන් ඇහුවොත් මොකටද හනිමූන් එක ගතකරන්නෙ... ඇයි තානායමට යන්නෙ කියල අපේ එළකිරි යාළුවො කියයි සස්ලිට්ට පිස්සු හැදිල කියල... ඒත් මම ආයෙත් අහනව ඇයි හනිමූන් එක ගත කරන්න යන්නෙ කියල... මොකද දන්නවද යාළුවේ හනිමූන් එක ගතකරන්න ගියපු අපේ මේ ගීත රචකය හනිමූන් එක පැත්තක තියල කරල තියෙන්නෙ මේ ගීතය ලියපු එක. අන්න ඒවගේ පුදුම විදියේ කලාකරුවො ටිකක් තමයි අපිට අතීතයේ සිටියෙ. මධු සමය ගතකරන මොහොතේ එතුමා ලියපු ගීතය තමා මේ ආදර හැගුම් කියන ගීතය. අපි නම් ලියයි ගීත නේද යාළුවනේ...........?

දැන් මම කියන්නෙ සින්දුව ලියපු විදිය... ඉතින් තානයමට ගියපු මේ යුවල ඇදුම් මාරුකරගන්න සූදානම් උනා. හොටෙල් එකට ගිහින් මංගල ඇඳුම් ඉවත් කරල මනාලිය බොහොම සැහැල්ලු ඇඳුමකින් සැරසිලා ඉන්නවලු. අපේ මේ ගීත රචක මහත්මයත් බැලුවලු පොඩි වොශ් එකක් දාගන්න. අනේ බලනකොට එයාගේ ඇඳුම් බෑග් එක නැතිලු, අමතකවෙලා දාල ඇවිත්. හරිවැඩේ..... දැන් ඉතින් මොනව කරන්නද අර මංගල ඇඳුම පිටින්ම දයානන්ද මහත්තයා පු‍ටුවක වාඩිවෙලා ඉන්නවා. මනාලිය ඇඳට වෙලා බලාගෙන ඉන්නවා. මෙහෙම ඉන්න ගමන් දයානන්ද මහත්තයා තමන්ගෙ මනාලියගෙ හැසිරීම නිරීක්ශනය කරනවා ඒ වගේම මනාලියගේ සිතුවිලි මොනවගේද කියල තේරුම් ගන්නත් බලනවා. ඔන්න ඔහොම ඉන්නකොට තමයි මේ ගීතය ලියවෙන්නෙ.

ආදර හැඟුම්//
නුපුරුදුයි මට නුපුරුදුයි
ඒ හැඟුම් ආදර හැඟුම්
කිති කවයි හද කිති කවයි
ඒ හැඟුම් ආදර හැඟුම්.........

මේ කොටසින් කියන්නෙ මෙහෙම තැන් දෙකකට වෙලා ඉන්න, ඇස් වලින් කතා කරන වැඩ අපි කවදාවත් කෙල් නෑ නේ. අපිට කරන්න අවශ්‍ය උනෙත් නෑ. නමුත් මොනව කරන්නද ඔයා ඔතන මම මංගල ඇදුම පිටින් මෙතන. දැන් තමා ඔයා ඇස්වලින් මාව අමතනව මට පේන්නෙ. ඒත් මට ඒව නුහුරුයි. ඔයා කවදාවත් මට ඇස් වලින් අමතල නෑ. මගේ හිතට ගතට මොනවදෝ වේනව.

සැදෑ අඳුරේ සැලෙන තරු එළි
මගේ හද තුල කරයි විමසිලි
නැගෙන ගණදුර වඩයි සිතුවිලි
මේ මගුල් රෑ බි‍ඳෙයි ඉවසිලි...........

මනාලියගේ ඇස් අදුරේ දිලෙන තරු වලටයි උපමා කරන්නෙ. තරු කතා කරනව ඇයි මගේ ලගට නොඑන්නෙ කියල. ඒ කියන්නෙ බිරිද ඇස් වලින් ආයාචනා කරනව. රාත්‍රිය එන්න එන්නම වැඩිවෙනව, හැගීම් උද්දීපනය වෙනව.... ඉවසන්න අමාරුයි ඒත් ඉතින් අමාරුවෙන් හරි ඉවසනව ඇරෙන්න වෙන මොනව කරන්නද? කියල හිතල රචකය උත්සාහ කරනව මංගල ඇදුම පිටින්ම එතෙනට වෙලා ඉන්න.

කිමද ඔබ මල් කුමරියන්නේ
පෙතිවිදා සතුටින් නො ඉන්නෙ
රහස නැතිවද මං නොදන්නෙ
තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නෙ.........

දෙවන අන්තරා කොටසේදී තම මනාලියගේ නෝක්කාඩු ස්වරූපය විස්තර කරන්නෙ. ඇය සතුටින් නොසිටින බව "කිමද ඔබ මල් කුමරියන්නේ පෙතිවිදා සතුටින් නො ඉන්නෙ" යන පදයෙන් කියවෙනවා. මධුසමය දවසෙ මනාලියගෙ මුහුණ එන්න එන්නම කණගාටු මුහුණුවරක් ගන්නව. කණගාටුනොවී කෙහොමද? ඉතින් අපේ මේ ගීත රචක දයානන්ද ගුණවර්ධන මහතා ඒ විදියට මනාලියගෙ මුහුණ සෝකබරිත වෙන්න හේතුව දන්නවා. අමුතුවෙන් කියන්න ඕන නෑනේ... හේතුව තමයි ඈ වෙතට නොපැමිණීම. ඔහු මෙය ගීයෙන් මෙසේ විස්තර කරනවා. "රහස නැතිවද මං නොදන්නෙ තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නෙ".

(උපුටා ගැනීම elakiri.com හි sasliit ගෙනි.)

ආදර හැඟුම් ආදර හැඟුම්
නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම්
ආදර හැඟුම් ආදර හැඟුම්
කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම්
ආදර හැඟුම් ආදර හැඟුම්
ආදර හැඟුම්

සැඳෑ අඳුරේ සැලෙන තරු එළි
මගේ හද තුළ කරයි විමසිලි
නැගෙන ගනඳුර වඩයි සිතුවිලි
මේ මඟුල් රෑ බිඳෙයි ඉවසිලි

කිමද මල් කුමරියන්නේ
පෙති විදා සතුටින් නොඉන්නේ
රහස නැතිවද මං නොදන්නේ
තුරුලෙ බමරුන් නොවෙද ඉන්නේ

පද: දයානන්ද ගුණවර්ධන
තනු: සෝමදාස ඇල්විටිගල
හඬ: පණ්ඩිත් අමරදේව

Audio: http://www.mediafire.com/?7s1zq30s686jd64
Video: http://www.youtube.com/watch?v=c8-cb5Yrt-o

(මෙම ගීතය පිළිබඳව පිළිබඳව ඔබ දන්නා දේ සහ ඔබට හැඟෙන දේ අප සමඟ බෙදාගන්න. )

හීනයක් වගේ ඔබ ආවා - අමල් පෙරේරා


ශ්‍රී ලාංකීය සංගීත ක්‍ෂේත්‍රය මී අඹ උයනක්‌ නම් ඒ මී අඹ උයනේ හටගත් රසවත් ඵලයක්‌ ලෙස දයාබර සංගීතවේදී මර්වින් පෙරේරා සඳහන් කළ හැකිය. මා සනසා මා නලවා නමින් ඔහු ගැයුවද අප සනසා අප නලවා අපට සදාදරණීය මිහිරක්‌ ගෙනදුන් මිහිරිතම සංගීතවේදියෙකි. අද ඔහු නිහඬය. ඉතිරිව ඇත්තේ යුගයෙන් යුගයට පවතින නිර්මාණ ගොන්නත් තාරුණ්‍යයට කතා කරන ඒ ශේ්‍රෂ්ඨයා බිහිකළ මේ හඬත්ය. 

මල් පිට මල් සැලෙන දිගු මාවතේ
දිය මත පිය නගමින් හිනැහෙන නුඹේ

අද අප කතා කරනුයේ මේ හඬ ගැනය. අමල් සැබවින්ම පිය පුතු දායාදයෙන් අපට ලැබුණු ආන්දෝලනාත්මක චරිතයකි. මර්වින් ගේ සොඳුරු හඬ අහිමිව වසරක්‌ යන්නට මත්තෙන් අමල් ලබාගත් වසරේ හොඳම ටෙලි නාට්‍ය ගායක (සමනලුන්ට වෙඩි තියන්න ටෙලි නාට්‍යයේ තේමා ගීතය) සම්මානය නිසා ඔහු ගැන කතා නොකරම බැරිය. අමල් පෙරේරා රසික ඔබට හඬ අවදි කළේ මෙලෙසිනි. 

ටික කලක්‌ නිහඬව සිට ඔබ ලැබූ සම්මානය ගැන කතා කළොත් ?

ඒ ගැන නම් කතා කරන්න දෙයක්‌ නැහැ. මොකද මම නොදැනුවත්වම මට ලැබුණු සම්මානයක්‌. හැබැයි සම්මාන ලබාගැනීමේ අරමුණින් නිර්මාණ ඉදිරිපත් කරන්නේ නැහැ. එක පැත්තකින් දුකතුත් තිබෙනවා. මේ සම්මානයේ සැබෑ හිමිකරු වන මගේ පියා ජීවතුන් අතර නැති නිසා. මට මගේ තාත්තා ළඟින්වත් වාඩිවීමට නොහැකි තරම් ලොකු කලාකරුවෙක්‌ මර්වින් පෙරේරා කියන්නේ. ඔහුව අගයපු නැති සමාජයක මට සම්මානය ලැබීමේ හේතුව විස්‌තර කරන්න මම දන්නේ නැහැ. 

ජනප්‍රිය තලයේ පුද්ගලයකු වුණත් ඔබව හඳුනන්නේ මර්වින් පෙරේරාගේ පුතු විදිහට නේද?

එය හැම කෙනෙකුටම පොදු දෙයක්‌. බොහෝ දෙනා සමාජයේ පිළිගන්න කැමැති විදිහ අනුව මාවත් පිළිගනීවි. අමල් පෙරේරා කියලා පිළිගන්න කැමති කෙනා එහෙම පිළිගනීවි. නැතිනම් මර්වින්ගේ පුතා විදිහට පිළිගනීවි. 

ඔබේ නිර්මාණ ඇසෙන්නේ කලාතුරකින්. ඇයි ඒ ?

නිර්මාණයක්‌ ඉදිරිපත් කිරීමට කාලයක්‌ අවශ්‍යයි. හැම තිස්‌සෙම නිර්මාණ කරන්න ගියොත් හරියට බේකරියක හදන පාන් ගෙඩියක්‌ වගේ වෙයි. එහෙම නිර්මාණ කරන්න මට වුවමනාවක්‌ නැහැ. මම කොහොමටත් හෙමින් ගමනක්‌ යන කෙනෙක්‌. මේ යන විදිහ හොඳයි කියලයි මට හිතෙන්නේ. 

පියාගේ වියෝව ඔබේ ජීවිතයට බලපෑවේ ?

පියාගේ වියෝව මට බලපෑවේ මගේ ජීවිතයට තාත්තා අහිමිවීම විතරයි කියලයි මම හිතන්නේ. මොකද මගේ හොඳම යාළුවත් තාත්තා. හොඳම මිතුරත් තාත්තා. ඒ නිසා පියාගේ වෙන්වීම දරාගන්න බැරි දුකක්‌. 

පියාගේ ගීත වලින් ඔබ වැඩිපුර ප්‍රිය කරන ගීතය ?

ඒක හරියට අතේ ඇඟිලි පහ පෙන්වල කෝකටද කැමති කියල අහනවා වගේ වැඩක්‌. ඔහුගේ හැම නිර්මාණයකටම මම කැමතියි. 

සුපර් ස්‌ටාර් විනිශ්චයවරයා ගැන යමක්‌ කිව්වොත් ?

ඇත්තටම සුපර් ස්‌ටාර් විනිශ්චයකරුවා කියන මගේ චරිතය ගැන යම් පිරිසකට වැරදියට පෙනෙන්නෙ. තවත් පිරිසක්‌ හොඳ විදිහට දකිනවා. මට නම් මෙහිදී වැරැද්දක්‌ පේන්න නැහැ. මොකද මම මගේ රාජකාරිය හරියට කරනවා. මට තිබෙන්නේ සින්දුව ගයන කෙනා හරියට ගයනවාද නැද්ද කියන එක බලන්න. එතැනින් එහාට විනිශ්චයකාරවරයකු වීම මට ලොකු තානාන්තරයක්‌ නොවේ. 

නමුත් ඔබේ විනිශ්චයට විවේචන තිබෙනවා...

අපේ සමාජයේ අද දවසේ ඇත්ත කතා කරන කිසිම කෙනෙකුට කැමති නැහැ. එය මම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවට ඊට එරෙහිව බොහෝ පිරිස්‌ නැගී සිටිනවා. ඔය එහෙම කියන පිරිසට ඒ වගේ දේවල් දරා ගන්න බැරිකම. සමහර වෙලාවට එක එක තැන්වල දී මම කතා කරන විදිය සැරයි කියන කට්‌ටිය මම ඉන්න තැන වාඩි වුණොත් ඒ දේම සිදුකරයි. එතකොට ඒ අයට තේරෙයි මම කරන රස්‌සාව මොකක්‌ද කියලා. 

පිය උරුමයෙන් ගායනයට පැමිණියා කිව්වොත් ?

මම ඒක පිළිගන්නේ නැහැ. මට පියාගේ උරුමයෙන් ලැබුණු දේවලුත් තිබෙනවා. නමුත් මම පියාගේ ගීත ගායනා කරලා ගායකයකු වෙන තැන එදා සිට අද දක්‌වා ප්‍රතික්‌ෂේප කළ කෙනෙක්‌. ඔය කියන චෝදනාව මට කොහෙත්ම අනුමත කරන්න බැහැ. අද දවසේ අමල් පෙරේරා කියන චරිතය මම ගොඩනඟලයි තිබෙන්නේ. 

ඔබේ නිර්මාණ එකතුවකටත් කාලය ඇවිත්...

කොහොමටත් මේ මස අග වන විටදී මගේ නිර්මාණ එකතුවක්‌ එළිදක්‌වන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. බොහොම ඉක්‌මනට එය රසිකයන්ට අසන්නට ලැබේවි. 

ප්‍රසංග වේදිකාවේ වැඩකටයුතු?

මේ දවස්‌වල නම් ප්‍රසංග වේදිකා කටයුතු ගොඩක්‌ අඩුයි. ගෘහස්‌ත සංදර්ශනවලට තමයි ආරාධනා ලැබෙන්නෙ. රාත්‍රි 10.00 ට සංදර්ශන නැවැත්වීමේ ගැටලුව ගොඩක්‌ දුරට බලපාල තිබෙනවා. 

ඉදිරි සංගීත ගමන?

එයත් මේ ආකාරයෙන්ම සිදුවේවි. ලොකු හදිසියක්‌ නැහැ. සංගීතය තමයි මගේ ජීවිතය. වෙනත් අංශයකට යොමුවෙන්න කැමතිත් නැහැ. 

වාදනයෙන් ඈත් වුණේ ?

මොකද මට වඩා දක්‍ෂයන් අද ක්‍ෂේත්‍රයේ සිටිනවා. වාදනයට වඩා ගායනයට තමයි නියෑළෙන්න බලාපොරොත්තුව. 

නමුත් ඔබ දක්‍ෂ ගිටාර් වාදන ශිල්පියෙක්‌ නේද?

මෙහෙමයි. මගේ ගී තනුවකට ගිටාර් එක වාදනය කරමින් ගායනා කරන්න පුළුවන්. නමුත් වාදන ශිල්පියෙකු කියන්නේ මගේ නිර්මාණයටත් තව කෙනෙකුගේ නිර්මාණයටත් වාදනයෙන් දායකවීමට පුළුවන් කෙනා. මම වාදක ශිල්පියෙකුට වඩා ගායන ශිල්පියෙකු වීමට තමයි කැමති. 

පියාගේ වියෝවට වසරක්‌ එළැඹීමට ළඟයි. මොනවද කරන්න හිතාගෙන ඉන්නේ ?

ලංකාවේ මෙතෙක්‌ නොපවත්වපු ප්‍රසංගයක්‌ පැවැත්වීමට සූදානමින් සිටියේ. එයට විශාල මුදලක්‌ වැය වෙනවා. ඒ සඳහා අනුග්‍රාහකයන් සොයා ගන්න සිදුවුණා. ඔවුන්ගේ ආදායම් වසර අග නිසා අවසන් වෙලා. ඒ නිසා අප්‍රේල් දක්‌වා එය කල් දැමීමට සිදුවුණා. 

පියාගේ හිඩැස පිරිමැසුවා කියලා ඔබට හැඟෙනවාද?

අනිවාර්යයෙන්ම. මම හිතන්නේ පියාගේ අඩුව පිරිමැසීමට නම් ඔහුගේ ගීත ගායනා කිරීම නොවෙයි සිදුකළ යුත්තේ. තාත්තා මට ලබාදුන් දායාදය ආරක්‍ෂා කරගෙන ඔහුටත් මටත් හානියක්‌ නොවන අයුරින් යන ගමනේදී ඒ අඩුව පිරිමැසෙයි. පියාගේ ගීත මගේ කට හඬින් ගැයුවාට ඔහු අමරණීය වන්නේ නැහැ. තාත්තාගේ අමරණීයත්වය රැකීමට නම් ඔහුගේ ගීත ඒ හඬින්ම රසිකයන්ට ඇසීමට ඉඩ ලබාදිය යුතුයි. මම එය අනිවාර්යයෙන්ම සිදුකරලා තියෙන්නේ.

- දිනේෂ් විතාන

(2009 වසරේ නොවැම්බර් මස දිවයින පුවත්පතේ පල වූ ලිපියකින් උපුටා ගත්තකි.)

හීනයක් වගේ ඔබ ආවා
හීනයක් දිගේ ඔබ ආවා
ආදරෙන් මගේ හිස අතගෑවා
හීනයක්ද මේ හිත කීවා..

ඔබ ඉගිල ගියා අහස් යහනට
වලාකුළකින් නම අසාගෙන එන්න
ඔබ කිමිදගියා සයුරු රළමත
සයුරු රළකින් නම අසාගෙන එන්න
හිත නතර වුනා ගීතයක් ලග
නම නොදන්නා හීනයට ඉඩ දෙන්න

නම නොදන්නා මලක් පිපිලා
හිතේ වන වඳුලේ
නම නොදන්නා මලක් පිපිලා
නෙතේ ගං වතුරේ
නම නොදන්නා මලක් පිපිලා
වතේ ගන අදුරේ
නුබ ඇවිත් දෝ හීනයක්දෝ
මගේ නම ඇසුනේ..

පද: මංජුල වෙඩිවර්ධන
තනු: අමල් පෙරේරා
හඬ: අමල් පෙරේරා

Audio: http://www.mediafire.com/?47344zpu34d6rsb
Video: http://www.youtube.com/watch?v=BN5DKc9Hx10

(මෙම ගීතය පිළිබඳව පිළිබඳව ඔබ දන්නා දේ සහ ඔබට හැඟෙන දේ අප සමඟ බෙදාගන්න.)