Tuesday, 31 July 2012

වැස්සකට ඉඩ ඇතත් - නන්දා මාලිනී


(23 වැනි ප්‍රේමකීර්ති අනුස්මරණ දිනය අදයි (2012.07.31). මීට වසර තුනකට පෙර බන්ධුල නානායක්කාරවසම් මහතා විසින් දිවයිනට ලියන ලද ලිපියක් උපුටා දක්වනු කැමැත්තෙමු.)

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ, නුගේගොඩ තිලක උයනේ නිවසට මා ගියේ, එහි සිට හෝමාගම මළ ගෙදරට යන්නට වික්‌ටර් රත්නායකයන් ඇතුළු පිරිස එන නිසාය. 

පාරෙන් මඳක්‌ පහත පිහිටි "කුඩා නිවසේ" "කුඩා මිනිසා" වැතිර සිටියේය. හෝමාගමින් තවත් දුරක්‌ ඇතුළට ගිය විට, හදාගෙන යන අප්‍රකට නිවසේ, රසික ගායක පරම්පරාවක්‌ හැදූ සුප්‍රකට රචකයා සදහටම නිදිවනම සිටියේය.

හය හතර නොතේරුණු බිලිඳු පුතු සිය පියාගේ ගීයක්‌ සේ සරළව, මුත් හැඟීම්බරව සිටියේ. මට ඔහු දුටුවිට සිහිවූයේ පුතෙකු ගැන ඔහු ලියූ ගීයක්‌ නොව, තම දියණිය "සුරංගී" ගැන, ඇගේ කනට තෝඩු දමන දින කන්පෙති විදීමෙන් ඇතිවන වේදනාව ගැන, සැසැළී ඇගේ පියා ලියූ ගීයය. මුතු බෙල්ලාගේ මුතුව ගැන ලියන්නට ගොස්‌ ඔහු නතර වන්නේ

"කනට තෝඩු පළඳවනා
කන්පෙති කටුවෙන් විදිනා
දවසක්‌ එන බව හැඟුනා
තාත්තාට දුක හිතුනා" තැනිනි.

ඉතා රළුවට, ගොරෝසුවට පෙනෙන මේ මිනිසා ලියන දැ රෝසමලක පෙති මෙන් මොළකැටි වූයේ කෙසේද? 

නිතර සිනා නොවෙන, ගුප්ත මුහුණක්‌ ඇති ඔහු ලියන "පාන්කිරිත්තා" හෝ "ජැක්‌ ඇන්ඩ් ජිල්" ගීතයෙන් හිනා ලියලමින් බෝ වන්නේ කෙසේද?

ආදරය ගැන කිසිත් නොදන්නෙකු සේ සිටින ඔහු කුරුල්ලන්ට ගී, ඔබේ දෙතොල් පෙති ලිහී, තරුඅත්අකුරින්, ආදරණීය නේරංජනා, කෙදිනද කුඩු, රැලකින් තනිවී වැනි ගීත ලියන්නේ කෙසේද?

පන්සිල් නොගන්නා, හැම පෝයට තියා වෙසක්‌ පෝයට හෝ සාම්ප්‍රදායිකව පන්සල් නොයන්නා, සමිඳුපාමුල. දෙව්රම් වෙහෙරේ, නිවන් දුටු හිමි, අමාදහර වැනි බැතිබර ගී ලියන්නේ කෙසේද?

සැබවින්ම, ඉඳුරාම, ඉතාමත් කෙටි කාලයකදි ඔහු නොලියුවක්‌ නැති තරම්. බෝඩ්ගසා නව අත්හදාබැලීම් කළා යෑයි නොකීවාට, සඳට අහස ආදරේදෝ (වික්‌ටර් සුජාතා), කුදිරකාරම්මා (වික්‌ටර් සුජාතා) කුණ්‌ඩුමනී (ෆේ‍රඩී සිල්වා) පුංචිහාමු (වික්‌ටර්) තනිතරුවේ වැනි ගීත රැසකින් හේ අමුතු අමුතු දැ කළේය.

මා මුලින්ම ඔහු දුටුවේ 1980 පෙබරවාරි මාසයේ, මාතර රුහුණු සේවය පිහිටා තිබූ විෙ-සිංහ වලව්වේදීය. "බයිසිකල් පද්දනවා" කීවාට කාර් එකක "පද්දවන්න" යෑයි අපි නොකියමු. මා රුහුණු සේවයට යන විට කාර්යාල වේලාව නිමව සවස 6.00 පමණ වී තිබුණි. පැරණි විසල් බොනට්‌ටුවක්‌ ඇති "පොන්ටියෑක්‌" කාර් එකක පාතාක බොනට්‌ටුවේ දිග ඇදී, මී අඹ ගෙඩියක්‌ සූප්පු කරමින් "කුඩා මිනිසා" "මාව පද්දවපන්" යෑයි රථයේ රියදුරු අසුනේ සිටි සගයාට බෙල්ල ඇතුලට දමා කෑ ගසා කියා යළි බොනට්‌ටුවේ හාන්සි විය.

මාතර, රුහුණු සේවය අද්දර, පඹුරනට යන පාරේ. කුමාරතුංග මාවතේ යනෙන සියල්ලෝම මේ "කාර් පැද්දීම" බලා සිනාසුනහ.

"අද එයා සම්බවෙන්න බෑ. හෙට උදේ ඔෆිස්‌ එකට එන්න..." මා ඔහු හමුවට ආ අවශ්‍යතාව දැනගත් අයකු කීයේය.

පසුදා පාන්දර රුහුණු සේවයට ගිය විට එහි "කටහඬ පරීක්‌ෂණයට සෙනග පැමිණ සිටියහ. මම ඔහු හමුවීමි. මගේ කවි පොතේ කවි 5 ක්‌ කියා වූ ඔහු පසුවදන ලියන්නට පටන් ගත්තේය.

"තව කවි 35 ක්‌ තියෙනවා..." ම කීවෙමි. 

"මේ ඇති" ඔහු සැරෙන් කීය.

ඔහු අපූරු පසුවදනක්‌ ලියා

"උඔට කතා කරන්න පුළුවන්ද බය නැතුව, මයික්‌ එකක්‌ ළඟ?"

"මම විවාද කණ්‌ඩායමේ එහෙම ඉන්නවා" Aමාසඑසදබ සඳහා පැමිණි මිතුරන්ට මා කීවේ ප්‍රේමකීර්ති ද අල්විස්‌ හමුවීමට ආවා කියාය. දැන් ඔහු මාවත් කටහඬ පරීක්‌ෂණයට දමන්නට සූදානමිනි.

මා කිසිත් නොදැන රුහුණු සේවයට පැමිණියත්, යාළුවන් නොමනා දෙයක්‌ හිතාද? සිතන්නට වෙලා නැත. මගේ කොලරයෙන් ඇදගෙන ඔහු ගියේ ,ධභ AෂR, යෑයි රතුපාටින් ලයිට්‌ දමා තිබූ දොර ළඟටය. ස්‌ටුඩියෝවේ දොර ඇරියේ මොන වීරයාදැයි කියා බලන්නට කටහඬ පරීක්‌ෂණය භාරව සිටි හේමජිත් ප්‍රනාන්දු මහතා දොර ළඟට ආවේය.

"මූට මොනව හරි පුළුවන් එකෙක්‌ වැඩක්‌ ගනිං, යන්නං..."

මාව මැදිරියට තල්ලු කර දැමූ ඔහු දොර වසා අතුරුදන් වුනි. කටහඬ පරීක්‌ෂණයෙන් තේරී එදාම රුහුණු සේවයේ සවස "සැඳෑමිහිර" සජීවී වැඩ සටහනේ නිවේදන සඳහා තෝරා ගත්තා යෑයි කියා යන්නට, තුති පුදන්නට ඔහු සෙවූ මුත් සොයාගත නොහැකි විය.

දිගින් දිගටම කොළඹදී උත්සවවලදී, රූපවාහිනියේදී, බස්‌රියේදී හමුවූවද ඔහු නාඳුනන්නෙක්‌ ලෙසම සිටියේය. සැමදා මා හිනාහෙන මුත් ඔහු මාව ගණන් නොගන්නා නිසාත්, මා හඳුනාගන්නට බැරිව ඇතැයි ද කියා සිතා, සුනිල් ආරියරත්නයන්ගේ පොත් දොරට වැඩුමක නන්දා මාලනියගේ ගායනයක්‌ සඳහා නිවේදන කටයුත්තෙන් වේදිකාවෙන් බැස එනවිට මුහුණට මුහුණ හමුවූ විට අහක බලාගෙන ගියෙමි. එක්‌වරම මා පසෙකට ඇද බඩට ඉතා වැරෙන් පහරක්‌ ගසා කොහේද යකෝ අහක බලන් යන්නෙ? ගාල්ලෙ ඉඳන්ද මාතර ඉඳන්ද පාත් වුණේ" යෑයි අවට සිටියවුන්ද හිනස්‌සමින් ගිගිරීය.

එතුවක්‌ මා දුටු විට නාඳුනන සේ අහක බැලූ මගේ සෑම සිනාවක්‌ම මවෙත ආපසු එවූ ඔහු එකම එක වරක්‌ මා අහක බැලූ විට, පෙර සියලු හමුවීම්හි "හඳුනාගැනීම්" සර්වප්‍රකාරයෙන්ම සනාථ කළේ එලෙසටය.

ඔහු මහ පුදුම මිනිසෙකි. කටහඬ, උදැසනක්‌ සේ පිරිසිදු පැහැදිලි, අකිලිටි, තියුණු ඒකකි. ඔහුගේ ගී හෝ කවි හෝ පිටපත් ලිවීම අතිශය රමණීය විය. "අඳුන" වැනි බුද්ධියට අතවනන විචාරාත්මක විසිතුරු වැඩසටහන් මෙන්ම "සම්පත් සාදය" වැනි වාණිජ වැඩසටහන්ද ඔහු ඉදිරිපත් කළේ අන්ත දෙකක වැඩ සටහන් ලෙසින් නොවේ. අද මෙන් විවිධ ප්‍රසංග හා දොරට වැඩුම් හෝ දැවැන්ත උළෙල යන්හි පිටපත් ලියා නිවේදකට දිය යුතු නොවේ. ප්‍රේමකීර්ති ද අල්විස්‌ට අවශ්‍ය වන්නේ මයික්‍රෆොaනය පමණකි. "අකුරක්‌" ලියූ කොලයක්‌ අතේ නැතිව ඔහු "අකුරට" වැඩ සටහන විශිෂ්ටව නිමා කරන්නෙකි.

"සිතින් මා නොසැලී", "සමනලයා මල හා ළමයා" වැනි ගීතවල තනුව ලා ලා ලා ලෙස ස්‌ටැන්ලි පීරිස්‌ හා සරත් ද අල්විස්‌ කියද්දී විනාඩියෙන් වචන ඇමිනුවේ ඔහුය. මා එක්‌කලා අමනාප වී දබර, දූගෙ තාත්තා එන්නේ නෑ ගෙදර" වැනි ගීතවලින් ඔහු ඒ ඉරණමට ලක්‌ නොවූවන් පවා හැඬවූ අතර, ඒ නපුරු තාත්තලා කීයක්‌ නම් යළි ගෙදර එන්නට ඇත්ද?

"ස" ප්‍රසංගයට ගොස්‌, නැගෙනහිර වෙරළේ සැඳෑවේ වික්‌ටර් රත්නායකයන් හා සපිරිවර සමඟ සිටි දවසක "තනි තරුවේ" "තනිතරුවේ" කියන අහසට කෑ ගසමින් ප්‍රේමකීර්ති සිටි මොහොතක වෙරළේ ලියා, පසුව එය දියෙන් වැකුණු විට පුංචි කරදහියක ලියූ "තනි තරුවේ" ගීතය සේම, අත්තිඩියේ, ගොම්මනේ මාළු බාමින් දයා විෙ-සේකර, වික්‌ටර් ඇතුළු සහෘදයන් සමඟ සිටිද්දී ඝන අඳුරේ, සගයන්ගෙන් ඉල්ලාගත් ෆොaඒසස්‌ සිගරැට්‌ටුව තදින් උරා ඇති කරගත් එළියෙන් පුංචි තුන්ඩුවක තත්පර ගණනින් ලියූ ප්‍රේම පරාදීසේ ගීය මෙන්ම ටයිප් රයිටරයේම එක්‌වනම ටයිප් කර මර්වින් පෙරේරාට දුන් "ජීවිතයම මහ පාළුගෙයක්‌" වැනි ගී විශ්මිත පබැඳුම් නොවේද?

1989 ජූලි 30 වැනිදාට මම යළිත් ඔබ හා හඬමින්ම සිටියෙමි. නිදි වැරූ, කළුවූ නළලින් වික්‌ටර් අයියා දෑසින්, පැමිණෙන්න හා කතා කරයි. මාලනී බුලත්සිංහල කඩා වැටෙන කඳුළු සඟවන්නට නිරර්ථක වෙහෙසක යෙදුනේය. කලා භවනේ යෝධ බිත්ති දිගට ඔහුගේ කුඩා දේහය ඇදී, විශාල වී, විකෘති වී මට සිහිනයෙන් මෙන් පෙනේ. බියවැදී හිඳ, පියවි සිහියට එන්නට රෝහණ හෝ කුලේ අයියා ළඟට යමි. ධර්මසිරි ගමගේ මහතා කිසිවක්‌ සිදු නොවුන සේ තද කරගත් හැඟුමින් යම් යම් කටයුතු වල යෙදෙයි.

කලාභවනේ සිට බොරැලල් කනත්ත දක්‌වා යන්නට අවමඟුල් පෙරහැර පටන් ගනියි. ඉතා සෙමෙන් ඇදෙන පෙරහැර තුළ මට දැඩි නොඉවසිලි ගති ඇති වෙයි. හිමින් යන්නට බැරි වේ. විවිධ මතක මා හිත හූරාගෙන පුපුරුවන්නට එයි. බිමට නැමූ සෝබර මුහුණින්, කලාකරුවෝ, රසිකයෝ, විද්වත්තු කලාභවනේ සිට බොරැල්ලට ඉබි ගමනේ පෙරහැරේ යති.

"තුවක්‌කුවක්‌ විතරවත් උස නැති මුත් මහා වැඩ කළ, මේ පුංචි මිනිසාට, තුවක්‌කුවෙන් වෙඩි තිබ්බේ ඇයි?"

දෙසුම පවත්වන සහෝදර ගීත රචක සුනිල් ආරියරත්න අසයි.

චිතකයට ගිනි තබන්නට පෙර ප්‍රේමකීර්ති කටහඬ ඇසේ. "කොළඹ 7, ටොරින්ටන් චතුරස්‍රයේ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ පදිංචි සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස්‌ විසිනි...."

ඒ සැරිසර සමාප්ති කථනයයි.

ඉන් අනතුරුව චිතකය ඇවිලී දුම් අහසට නැගෙද්දී, ප්‍රේමකීර්ති ලියූ වික්‌ටර් ගැයූ "ප්‍රියේ ඔබම උපනුපන් ජාති හමුවේවා..." ගීතය හිත් පාරවමින් දෝංකාර දෙයි.

"පුංචි කුහුඹුවන්ටත් තියේ උන් හෙවනැල්ල".

"බිඳී ගිය මුත් බඳුන් අතින් දිය බොනු හැකිය."

ඔහු එසේ ලීවාට, අතින් දිය බොනු හැකි යෑයි කීවාට, ඒ ධර්මතාවය ඔහුට යෙදිය නොහැකිය. ප්‍රේමය, කීර්තිය ඉතිරි කොට ද අල්විස්‌ සමුගෙනය.

- බන්ධුල නානායක්‌කාරවසම්

(2009 ජූලි මස 26 දින පල වූ දිවයින පුවත්පතින් උපුටා ගත්තකි.)

වැස්සකට ඉඩ ඇතත් අහස් කුස දස අතම
හිරුට එපමණ කුමට පුංචි පෙදෙසක් ඇතිය
සිනාසී සිනාසී දෙතොල් ඉරි තැළෙද්දී
අඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට

පුංචි කුහුඹුවන්ටත් තියේ උන් හෙවනැල්ල
බිඳී ගියමුත් බඳුන් අතින් දිය බොනු හැකිය
ඔබට මා මටද ඔබ හමුවුනෝතින්
සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන

සයුර ගොඩ එන තුරා කඳු මුදුන් ඇත උසට
ගලන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවෙද
ඔබට මා මටද ඔබ හමුවුනෝතින්
සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන

පද: ප්‍රේමකීර්ති ද අල්විස්
තනු: එච්.එම්.ජයවර්ධන
හඬ: නන්දා මාලිනී

Audio: http://www.mediafire.com/?3ngxf033hjht9th
Video: http://www.youtube.com/watch?v=HQ-lMKcBdAw

(මෙම ගීතය පිළිබඳව හා ප්‍රේමකීර්ති කලාකරුවාණන් පිලිබඳ ඔබ දන්නා දේ සහ ඔබට හැඟෙන දේ අප සමඟ බෙදාගන්න.)

2 comments:

මේ ගීතය ගැන ඔබ දන්නා දේ සහ ඔබගේ අනෙකුත් අදහස් අප සමඟ බෙදාගන්නා වූ ඔබට බොහෝම ස්තූතියි.