Saturday 4 August 2012

බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි - සනත් නන්දසිරි


අම්මා කෙනෙක් ගෙ ආදරේ වගේම තමන් කල වැරදි ගැන පසුතැවෙන පුතෙකුගේ කවි සිතුවිල්ලක් වගේ..හිතට දැනෙන සින්දුවක්. වැරදි යාලුවො නිසා තවත් කෙනෙක් ගෙ දිවි උදුරගත්ත පුතෙක් මරණ දඬුවම විදින්නට මොහොතකට පෙර වැඩම කල ස්වාමින් වහන්සේ කෙනෙකු අබියස වැඳ වැටෙන හැටිත් අම්මා කෙනෙක් ගෙ අපිරිමිත දාරක ප්රේමමයත් හිත තුල සිත්තම් කරන්නට මේ පද පෙල සමත්..පුතු තමන්ගෙ වැරදි ගැන පසුතැවුනත් ඒ වැරදි හදාගන්නට ඔහුට ඉඩක් නැහැ,මතු බවයෙ වැරදි යහලුවන් නම් ලැබෙන්න එපා කියලා ඔහු ප්‍රාර්ථනා කරනවා. මේ සිදුවීම ඇත්තටම අපේ සමාජයේ දකින්න පුලුවන් නේද? වැරදි යාලුවො නිසා අදටත් මහ උලු ගෙදර තනි වෙලා ඉන්න අය කී දෙනෙක් නම් ඇත්ද? ඒ අය වටා හිටිය යහලුවන් යැයි කියාගත්තවුන් අතහැර යද්දි අම්මා ඒ දරුවට ආදරේ කරන හැටි හරි පුදුමයි. කොයිතරම් බැන්නත් ගැහුවත් පුතෙක් වැරදි කලත් අම්මා කෙනෙක් ඒ දරුවව අත් හරින්නෙ නෑ, ඒ කතාත් මේ පැදි පෙලේ අවසානය වගෙමයි..

"දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ."

මොන වැ‍රැද්ද කලත් අම්ම කෙනෙක් තමන්ගෙ දරුවව අත අරින්නෙ නැහැ..ඒ නිසාම ගොඩාක් ප්‍රශ්න වලදි මං අඬා වැටෙන්නෙ අම්මා ගාව..ඒ වගේම තවත් කෙනෙක් ගෙ ලේ තමන්ගෙ අත්වල ගාව ගන්න තරම් නපුරු උන මේ පුතා අම්මගෙ සෙනෙහසට ආදරේ කරන හැටි?කොයි සෙනෙහසටද පුලුවන් ඒ තරම් නපුරු වුන තද හිතක් අඬවන්න.අම්මගෙ සෙනෙහසට විතරමයි..මරණයට බය නැති උනත් මේ ලෝකෙන් මිදෙන්න බැරි එකම බැම්ම අම්මගෙ ආදරේ...

(උපුටා ගැනීම elakiri.com හි sasliit ගෙනි.)

බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ 
දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ 
මගෙ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනුමැනේ 
මා ගෙළලූ බව ඇයට කියනවද බුදුබව ලැබෙයි අනේ..

අනේ ස්වාමිනි මා ගෙළලන්නට ඉඩනම් දෙන්න එපා 
ගෙළ වැලලූවොත් මගෙ මළකඳ අම්මට පෙන්නන්න එපා 
ඇතිදා ලඟ උන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා 
නැතිදා ලඟ උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා..

නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනක සමා 
මරණයෙ දොරකඩ සිට ඔබ පායුග සිඹ සමු ගනිමි මෙමා 
කෙලිලොල්කම් කල මා සතු දිවි මග දැන් දැන් වේවි නිමා 
මරණ බයක් නෑ අම්මා සිහිවෙයි.................

බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ 
දුක හිතිලයි මා හිරගෙදරට ආවේ පුතුගේ මරණ දිනේ 
දුදනන් ඇසුරින් පර පණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ 
මතු උපදිනදා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ..

පද: සනත් නන්දසිරි
තනු: සනත් නන්දසිරි
හඬ: සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි

Audio: http://www.mediafire.com/?o8a8xbnkyaxhebd
Video: http://www.youtube.com/watch?v=4WLP_S-J0FA

(මෙම ගීතය පිළිබඳව ඔබ දන්නා දේ සහ ඔබට හැඟෙන දේ අප සමඟ බෙදාගන්න.)

No comments:

Post a Comment

මේ ගීතය ගැන ඔබ දන්නා දේ සහ ඔබගේ අනෙකුත් අදහස් අප සමඟ බෙදාගන්නා වූ ඔබට බොහෝම ස්තූතියි.