ඉන්දිකා උපමාලි සංගීතමය පවුල් පසුබිමකින් ගායන ක්‍ෂේත්‍රයට පා තබන්නියක වේ. ඒ ඇගේ පියා වන සිරිපාල සමරසේකර සංගීත ගුරුවරයෙක් වූ නිසාවෙනි. සඳපහන් රැයේ........ පෑයූ දීප්තිමත් තාරකාවක් මෙන් කලා ක්‍ෂේත්‍රය පැමිණි ඇය වඩාත් ජනප්‍රිය වූයේ ගායන ශිල්පිනියක් ලෙසට සහෘද හදතවත් තුළ සදා නොමැකෙන හඬක් මුසු කරමිනි. ඒ දීප්තිය වඩාත් තීව්‍ර කිරීමට විශාරද මාලනී බුලත්සිංහලයන්, ආචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරිගෙන් හා ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයෙන්ගෙන් ලැබුණ දැනුම අතිමහත් ය.
ඉන්දිකා ඔබ සංගීත ක්‍ෂේත්‍රයට යොමු වන්නේ පියාගෙන් ලද ආභාසය නිසාමද?
මගේ තාත්තා සංගීත ගුරුවරයෙක්. වෘත්තියට අමතරව ඔහු වේදිකා නාට්‍ය, සංගීත ප්‍රසංග සංවිධානය කළා. බහ තෝරන කාලයේ ඉඳලම මමත් තාත්තාගේ කලා කටයුතුවලට සම්බන්ධ වුණා.
ඇත්තටම තාත්තා නිසා තමයි මට මේ තැනට එන්න ලැබුණේ. ඒ නිසා සංගීතය මගේ ජීවිතයේ කොටසක් වුණා. හරියට ගලවලා වෙන් කරන්න බැරි තරමටම.
ශිෂ්‍යාවක් ලෙසට කොයි ආකාරයට ඔබ සංගීතය හැදැරුවේ?
ඒ දවස්‌වල තාත්තා ආදේශ සංගීත භාණ්‌ඩ යොදාගෙන, සාම්ප්‍රදායික සංගීත භාණ්‌ඩ වාදනය කරන කණ්‌ඩායම් කිහිපයකුත් සමඟ තරගයකට ඉදිරිපත් වුණා. ඒ කණ්‌ඩායමේ සාමාජිකාවක් මමත්. ඒ තරගයෙන් සමස්‌ත ලංකා පළමු තැන ගන්න අපට පුළුවන් වුණා. තාත්තාගේ ගුරු මාරුවත් එක්‌කම මටත් පාසල් කිහිපයකටම යන්න වුණා. එහිදී තාත්තාගේ ලොකු ආශාවක් තිබුණා මාලනී බුලත්සිංහල ගුරුතුමිය ලවා මට සංගීතය උගන්වන්න. ඒ නිසාම මාව කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයට ඇතුළත් කළා. එහිදී ඇය මගේ හැකියාව හඳුනාගෙන ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මාස්‌ටර්ට මාව හඳුන්වලා දුන්නා.
ආචාර්ය කේමදාසයන්ගේ හමුවීමත් සමඟ මොනවගේ වෙනසක් ද සිද්ධ වුණේ?
අමුතුම අත්දැකීමක් සමඟ අසීරු ගමනකට මුල පිරුව වගේ දැනුණා. ඒ වෙනකන් ගුරුවරයා කියන දේ අහගෙන ඉඳලා ඒ හඬම අනුකරණය කරලා ගායනා කරන එක වෙනස් වුණා. එදා මුල්ම දවසේ මාස්‌ටර් මට කිව්වා මතකයි මාස තුනක් යනකම් කට හොල්ලන්නවත් එපා කියලා. ප්‍රාසාංගිකත්වය සමඟ ගායනයත් ඉවසීමෙන් පුරුදු පුහුණු වෙන අතරෙ ලොකු කැප කිරීමක් කරලා මා තුළ තිබූ හැකියාව කාලයත් එක්‌ක මාස්‌ටර් ඉදිරියට ගත්තා.
එහිදී මාස්‌ටර්ගේ මානසවිල, දොරමඩල, පිරිණිවන් මංගල්‍යය, අග්නි වැනි ඔපෙරාවලට සම්බන්ධ වෙන්න මට අවස්‌ථාව ලැබුණා.
මාස්‌ටර්ගේ වියෝවෙන් පසුව සංසදය පවත්වා ගෙන යන්නේ කෙසේද?
මාස්‌ටර් අප අතරින් වෙන්වෙන්න කලින් අග්නි ඔපෙරාව පුරුදු පුහුණු කළේ ලොකු ආශාවකින්. ඒ නිසා දිගටම අග්නි ඔපෙරාව පවත්වාගෙන යනවා. මගේ ලොකු අක්‌කාත් සංගීත ගුරුවරියක්. ඇගේ ඇඳුරුම්කම මත අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන අයකු කළ යෝජනාවකින් පස්‌සේ අක්‌කත් මමත් එකතු වෙලා පාසල් විෂය මාලාවට අග්නි ඔපෙරාව ඇතුළත් කළා. මම හිතනවා නව නිර්මාණ බිහිකරන දරුවන්ට එය ලොකු අත්වැලක් වේවි කියල.
කලාකාරිනියක් ලෙසට ඔබ සියලූ අංශවලින් දක්‍ෂතා පෙන්වූ තැනැත්තියක්?
මුලින්ම මම රඟපෑවේ කපිල කුමාර කාලිංගගේ ධවලකේතු. ඊට පස්‌සේ හිරු තනිවෙලා, වසන්තය ඇවිල්ලා, පුලින ප්‍රාසාද, උතුරුකුරු සටන, ජයතුරා ශංඛ ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකුත්, භේරුණ්‌ඩ පක්‍ෂියා, සැලමුතු පින්aන, සූවිසි විවිරණ ඇතුළු චිත්‍රපට කිහිපයකත් යශෝධරා, සක්‌වාදහවල, මොනරු සහ අපි වැනි වේදිකා නාට්‍ය කිහිපයකත් රඟපෑවා.
මේ සියලූ අංශයන්ගෙන් ඔබ වඩාත් ජනප්‍රිය?
කලාකාරිනියක් කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති තැනැත්තියක් වෙන්න ඕනෑ. ඒ වගේම ලොකු කැපකිරීමක් කරන්නත් ඕන. ඒ අතින් ගත්තාම මම බොහෝ දුරට ගැවසිලා තියෙන්නේ සංගීත විෂය පථය තුළ. අතලොස්‌සක් වැනි චරිත කිහිපයක් රඟපෑවත් ගායිකාවක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් සමබර ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඒ වුණත් මම හිතනවා වැඩියෙන්ම ජනප්‍රිය සංගීත අංශයෙන් කියලා.
ඊට හොඳම උදාහරණයක් ඔබ අද සංගීත අංශයෙන් කථිකාචාර්යවරියක් වීම?
ඔව්, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ලෙසට මම සේවය කරනවා. ශිෂ්‍යාවක් හැටියට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වුණාට පස්‌සේ ඒ අත්දැකීමත් මා තුළ ලොකු වෙනසක් සිදුකළා. මම ගෞරව කරපු ගුරුවරුන් පිරිසක් වන විශාරද රශ්මි සංගීතා, ආචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි, කෝලිත භානු, අමරා රණතුංග වැනි දැවැන්තයන් යටතේ සංගීතය හදාරන්න ලැබුණා. ඒ අතරෙ මගෙ ලොකු අක්‌කගෙ හීනයක් වෙලා තිබුණා කවදා හරි මම කථිකාචාර්යවරියක් වීම.
(දිවයින පුවත්පත වෙනුවෙන් ලක්‌මිණී අතුකෝරල විසින් ලියන ලද ලිපියකින් උපුටා ගැනුණකි.)
නෙතු කඳුලැලි ඉනුවා
හිත දැවුනා..
සාර සියක් තරු එලි නිවුනා
සඳ මැකුනා..
හිත දැවුනා..
සඳ මැකුනා..
ඔබ ආයෙත් හිත මත රැඳුනා
පුරුදු දුකම දැනුනා..
දෑල මලින් පිරි මා කැඳවූ මඟ
විසකුරු කටු අතුරා..
දූවිලි දුම් මැද මා මග තනි කර
ඈතට ගිය හැටි මතක ඉමේ ඇඳුනා..
ආල තෙපුල් මත මා රවටා ඔබ
මිරිඟුව මැද නවතා..
සීතල හීනෙක මා සිත තනිකර
ආපිට යන මඟ මගේ කඳුලු තිබුනා..
පද: නිලාර් එන් කාසිම්
තනු: කසුන් කල්හාර
හඬ: ඉන්දිකා උපමාලි
Audio: http://www.mediafire.com/?e8kok16lk6t61uz
Video: http://www.youtube.com/watch?v=pcgGzSfvLj4
(මෙම ගීතය පිළිබඳව පිළිබඳව ඔබ දන්නා දේ සහ ඔබට හැඟෙන දේ අප සමඟ බෙදාගන්න.)
හුඟ දෙනෙක් ආදරය කරන්නේ ඔවුනොවුන් එකිනෙකාට අයිතියි කියා හිතලා... ඒත්... මේ ආදරවන්තයන් බොහෝමයක්‌ම අයිති ඔවුන්ට නොවෙයි. වෙනත් අයට ඒ නිසා සමහරවිට මේ අය අසම්මත පෙමක රස බලන්නන්. ඒත් ආදරය කියන්නේ වෙන් වෙන්න පුලුවන් බැඳීමක්‌ද එය හරිම අමාරුයි තේරුම් ගන්න.මේ අනන්ත රාත්රියේසඳේ නුඹ කොහේ
තාරුකා කියන්නකෝ
නිදන්නෙ ඈ කොහේ
රාත්‍රිය අනන්තයි හඳ පෙනෙන්නටත් නැහැ හැංගිලා ඇය කොහේ ඇත්ද ඒ බව දන්නේ තාරුකා විතරයි. මේ රාත්‍රියේ ඈ කොහේ නිදනවාද
අතිශය දුක්‌බර වෙන්වීමක් පෙරදී කීවාක් මෙන් මේ අසම්මත ආදරයක්.
අපි මේ සිංදුව ලියූ තරුණයාට කතා කළා. ඔහු තනුජ සංජය ඔහු විවාහයට සූදානම් වෙනවා. තව දවස් තුනකින් සංජය විවාහ වෙනවා.
සිංදුව නම් මගේ අත්දැකීමක් නොවේ. ඔය සිංදුව ලියද්දි මම අපොස උසස් පෙළ විභාගයට ඉගෙන ගන්නවා. 2002 දී විතර මගේ මිතුරෙකුගේ අත්දැකීමක්. කාලයක් එකට සිටි දෙදෙනෙක් පාසල් කාලයෙදිත් මේ අය පෙම්වතුන්. ඒත් ඒ දෙන්නාටම වෙන්වෙන්න සිද්ධ වුණා. දැන් මේ දෙන්නාම අයිති වෙනත් දෙදෙනකුට. එහෙම දැන දැනත් කිට්‌ටු වෙන්න තමයි හිතෙන්නේ.
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුලින් තෙමී
තනිවේද මා අනේ
මේ පෙම්වතාත් පෙම්වතියත් සුසුම් හෙළනවා. ඒ වේදනාබර සුසුමන් ඒවා අන්ධකාරයේ ගිලිලා නොපෙනී යනවා. ඔහුගේ දෙනෙත් යුග කඳුළින් බොඳවෙලා. දැන් ඉතින් මා තනිවේවි. ඔහුට දුකක් ඇතිවෙනවා.
මේ පෙම්වතුන් දෙදෙනාම අනුන්ගේ... එකතු වෙන්න බැහැ. ඔහුට නිතරම ඈ සිහිවෙනවා.
ජීවිතේට මං කියූ තාරකාවියේ
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ
ඔහුගේ ජීවන ගමනේදී හරි මං කියාදුන්නේ ඇය. හරියට පාර කියන තාරකාවක් වගේ. ඒත්... ඒත් දැන් ඇය නැහැ. ඒ තාරකාව සැඟවිලා ගිහින් ජීවිතේම අන්ධකාරය වෙළාගෙන..
මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයයේ ඉගෙනුම ලැබුවා. දැන් විශ්වවිද්‍යාල ජීවිතේට ආයුබෝවන් කියලා
රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. දමිත් අසංකට මම තවත් ගීත කීපයක්‌ම ලියුවා. මේ අනන්ත රාත්‍රියේ ගීතයට තනුව සහ සංගීතය නිර්මාණය කළේත් මම. තනුජ තවත් විස්‌තර අපට කීවා. ඒ විවාහ උත්සවයේ වැඩවලට එහාට මෙහාට දුවන ගමන්...
අම්බරේහි සඳ නොවී
එළිය දුන් ලියේ
දැන් ඉතින් නුඹත් ගියා
කළුවරයි අනේ
ආදරවන්තියේ... ඔයා මට අයිති නැහැ. හරියට අඹරේ පායන සඳ වගේ... හඳ අයිති අහසට ඒත් ඒ හඳ මට එළිය දෙනවා. ඔයාත් ඒ වගේ... මට අයිති නැති ඔයා සඳක් නොවී මට එළිය දුන්නා ඒත්... දැන් ඒ හඳ නැහැ. මගේ ජිවිතේ අන්ධකාරයි.
දමිත් අසංක මේ ගීයෙන් රසික රසිකාවියන් බොහෝ දෙනෙකු අතරට ගියා. පදමාලාවෙන් දෙන අර්ථය වියෝව වඩාත් දැනෙන තනුව දමිත්ගේ දුක්‌බර හඬට වඩාත් හොඳින් ගැලපෙනවා.
- අජිත් අලහකෝන්
(දිවයින පුවත්පතින් උපුටා ගත්තකි.)
මේ අනන්ත රාත්‍රියේ
සඳේ නුඹ කොහේ
තාරුකා කියන්නකෝ
නිදන්නෙ ඈ කොහේ
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුළින් තෙමී
තනිවේද මා අනේ
ජීවිතේට මං කියූ තාරකාවියේ
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ
අම්බරේහි සඳ නොවී එළිය දුන් ලියේ
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ
පද හා තනු: තනුජ සංජය හේරත්
හඬ: දමිත් අසංක
Audio: http://www.mediafire.com/?p8zb3bj49q6f60d
Video: http://www.youtube.com/watch?v=oa4HY3-zW2E
(මෙම ගීතය පිළිබඳව පිළිබඳව ඔබ දන්නා දේ සහ ඔබට හැඟෙන දේ අප සමඟ බෙදාගන්න.)
ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේනයන් වෙනුවෙන් දිවයින පුවත්පතේ පළ කෙරුණු ලිපියකි පහත දැක්වෙන්නේ. "මේ සියල්ල සිදුවීමෙන් ඉක්‌බිතිව දැන් අවුරුදු ගණනාවක් ගතවී ගොස් ඇත. මුළු කෝකිලානම දැන් එකම පාළුපෙතකි. සියලු වස්‌තූන් කෙරෙහි මා තුළ තිබූ ආසාවන් පුදුම අන්දමින් ප්‍රහීණ වී ඇත. ලෞකික ජීවිතයේ මගේ කටයුතු සියල්ල කර අවසාන යෑයි දැන් මට සිතේ. උදේ නැගිට දත කට මැදගන්නා මට ලලිතාගේ ගෙදරින් පාතරාසය ලැබෙයි. දහවල් වන විට රංජිත් බත් පිඟානක් එවයි. සවස බත ලැබෙන්නේ සනාගේ ගෙදරිනි. ඉඳහිට වෙනත් ගෙවලින් විශේෂ කැවිලි හෝ පලතුරු ගැමියෝ මට ගෙන එති. මාගේ හිත තුළ පෙරට වැඩි තැන්පත් බවක් ඇති බව මටම දැනේ. සමහර මිනිස්‌සු මට කෝකිලානේ ඉසිවරයායි කියති."
චරිත තුනක් ටෙලිවෘත්තාන්තය අවසන් වනුයේ ඉසාගේ ඉහත සඳහන් ආත්ම කථනයෙනි "ඉසා" "සනා" "රංජිත්" යන චරිත තුන මාර්ගයෙන් මනුෂ්‍යත්වය පිළිබඳ ධර්මතා තුනක් ප්‍රකට කරන්නයි නවකතාව රචනය කිරීමේදී කේ. ජයතිලකයන් උත්සාහ කළේ. පොදු මනුෂ්‍යත්වය සංකේතවත් කරන ගමන් ඒ යටතේ විවිධාකාර චරිත ලක්‍ෂණ වර්ධනය වන ආකාරය විදහා දැක්‌වීමට ද ජයතිලකයන් උත්සාහ ගෙන තිබිණි. නවකතා රචකයාට හානියක් නොවන අන්දමින් සෝමවීර සේනානායක විසින් තිරනාටකය රචනය කළා. මගේ ලොකු විශ්වාසයක් තිබුණ සුමින්ද සිරිසේන "ඉසා"ගේ භූමිකාවට සුදුසුම නළුවා ලෙසට. සුමින්ද එම කාරිය මැනවින් ඉටුකළ අතර ප්‍රේක්‍ෂක, විචාරක පැසසුමට ද ලක්‌විය.
කරළියේ පෙරළිකාරයන්ගේ උපත බොහෝ විට සිදුවන්නේ පාසල් වේදිකා තුළින්. මෙහිදී පාසල් නාට්‍ය නිර්මාණය කරන ගුරුවරුන්ගෙන් පාසල් සිසුන් ලබන පන්නරය අගය කළ යුතුය. 1948 දී කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ මාබෝපිටිය බොස්‌සැල්ල ගම්මානයේ උපන් සුමින්ද සිරිසේන ද තම රංගන කලාවේ අත්පොත් තැබුවේ ඔහු අකුරු කළ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයෙනි. එකල එහි ආචාර්යවරුන් වශයෙන් සේවය කළ දැනට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් වශයෙන් සේවය කොට විශ්‍රාම සුවයේ පසුවන ආරියවංශ රණවීර සහ ජයසුමන දිසානායක සමග සංගීත විෂයභාර ආචාර්ය සංගීත විශාරද දයා අල්විස් තරුණ සුමින්දගේ හැකියාවන් උරගා බැලීමට සමත් විය. ආරියවංශ රණවීර රචනා කළ "ගිරිකූඨ" නාට්‍යයේ කාශ්‍යපගේ චරිතයට පණ පෙව්වේ 1967 වසරේයි. පාසලේ විද්‍යා විෂයයන් හැදෑරුවද ගායනයට හා රංගනයට සුමින්දගේ ඇති හැකියාව නිෂ්පාදක වශයෙන් කටයුතු කළ දයා අල්විස්‌ට තේරුම් ගියේ පුහුණුවීම් අතරතුරය. 1968 දී ඇල්බෙයා කැමූගේ Cරදිsමරචදචැs ඇසුරෙන් ජයසුමන දිසානායක රචනය කළ "සාක්‌කි කරුවෝ" ඛේදාන්ත නාට්‍යයද ජයසුමන සහ දයා අල්විස් එක්‌ව නිෂ්පාදනය කළ අතර, සුමින්ද රංගනයෙන් දායක විය. තමන්ගේ ඇති තැන්පත්කම මෙන්ම ගුරුවරුන්ට කීකරුව කටයුතු කළ සුමින්ද රංගනය සඳහා ප්‍රාදේශීය වශයෙන් සම්මානයන්ගෙන් පුද ලැබීමට සමත් විය. සුමින්ද අගනුවරට පැමිණෙන්නේ ඉන් පසුවය. 1970 දී ලයනල් වෙන්ඩ්ට් කලාකේන්ද්‍ර රංග ශිල්ප ශාලිකාවට පැමිණ ධම්ම ජාගොඩ යටතේ වසර තුනක පමණ කාලයක් රංගනය පිළිබඳව පුහුණුව ලබමින් ධම්ම ජාගොඩ නිෂ්පාදනය කළ "මූදු පුත්තු" රවුන් වේදිකාවට (එරීනා තියටර්" නාට්‍යයේ දියෝනිස්‌ගේ භූමිකාව නිරූපණය කළේය. ඉන්පසුව සුමින්ද ක්‍රමක්‍රමයෙන් එකල සිටි ප්‍රකට නාට්‍ය නිෂ්පාදකවරුන්ගේ නිෂ්පාදනයන්ට රංගනයෙන් දායක විය.
මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මහාසාර, කදාවළලු, මනමේ, භව කඩතුරාව, නාමෙල් වීරමුනිගේ වංසක්‌කාරයෝ, රංජිත් ධර්මකීර්තිගේ හස්‌තිරාජ මහත්තයා, හිරු නැති ලොව, ආඬිරැළේ නාඩගම, මේඝ, ධම්ම ජාගොඩගේ වෙස් මුහුණු, සමන් සුසිරිගේ තක්‌සලා නාඩගම, µSලික්‌ස් ප්‍රේමවර්ධනගේ අන්ධකාරය, තිලක් ගුණවර්ධනගේ කොන්තනෝනා, සමුගැනීම, සෝමපාල ගුණධීරගේ උමතුසංවරුවා, ප්‍රේමලාල් ගංගේගේ නාඩගම්කාරයෝ, දයානන්ද ගුණවර්ධනගේ ආනන්ද ජවනිකා, ජයලත් මනෝරත්නගේ අන්දරේලා, පරාක්‍රම නිරිඇල්ලගේ විනිශ්චය, මියුරි සමරසිංහගේ සපතේරු හාමිනේ, සුසිල් ගුණරත්නගේ මුහුණු දෙකක්, සෝමරත්න දිසානායකගේ මීපුර වැසියෝ, යන නාට්‍යවලට 1970 දශකය පුරා සුමින්ද, රංගන දායකත්වය ලබාදීමෙන් සිංහල නාට්‍ය වේදිකාවේ අතිදක්‍ෂ නළුවකු වශයෙන් තහවුරු විය.
1980 දශකයෙහි ශ්‍රී ලංකාවට රූපවාහිනිය සපැමිණීමත් සමග සුමින්දගේ රංගන දායකත්වය ටෙලිනාට්‍ය සඳහා ලබාගැනීමට හැකිවිය. 1985 වසරේ මවිසින් අධ්‍යක්‍ෂණය කළ සිහින නිම්නය ටෙලි වෘතාන්තයේ රංජිත් සර්ගේ චරිතය සුමින්ද රූපවාහිනියට දායද කළ මුල්ම රංගනයයි. ඉන්පසුව ජයකොඩි සෙනෙවිරත්න රචනය කළ කුමාරිහාමි නාට්‍යයේ හිච්චි මහත්තයාගේ චරිතය තුළින් ප්‍රේරaක්‌ෂකයා අතරට ගිය සුමින්ද ධම්ම ජාගොඩගේ අධ්‍යක්‍ෂණයෙන් සෝමවීර සේනානායක රචනය කළ මිහිකතගේ දරුවෝ නාට්‍යයේ මුතුගොඩ රාළහාමි ගේ චරිතයට පණපෙවූ ආකාරය අදටත් මතකයේ රැඳී පවතී. විනාඩි තුනක පමණ දර්ශන කාලයක් වුවද අධ්‍යක්‍ෂවරයාගේ මනසෙහි රැඳුණ රූපය ඒ අයුරින්ම ප්‍රතිනිර්මාණය කිරීමට ඔහුට හැකිවූ බව ධම්ම ජාගොඩ පවසා තිබෙනවා. පටිගත කිරීම් අවසානයේ ඊට සභභාගි වූ සියලුම දෙනා සුමින්දගේ රංගනය අවසානයේ කඳුළු සලමින් සිටි බවද සඳහන් වෙනව. අසල්වැසියෝ ටෙලි වෘත්තාන්තය සුමින්ද රඟපෑ තවත් ජනප්‍රිය වූ ටෙලි නාට්‍යයකි. එම නාට්‍යයේ ජයමංගලගේ චරිත ප්‍රේක්‌ෂක අවධානයට යොමු විය.
තිර රචක සෝමවීර සේනානායක පවසන අන්දමට ජයමංගලගේ චරිතය ගොඩ නගා ඇත්තේ ගැඹුරින් රංගනයෙහි යෙදිය යුතු වන අයුරින් වුවත් සුමින්ද එයට ජීවය කැවූ අන්දමින් තරමක් හාස්‍ය රසයක්‌ද ඉන් ජනිත වුණා. චරිතවල ඉඟිබිඟි මෙසේ වැඩි දියුණු කරගෙන රඟපෑම හැම නළුවකුටම කළ හැක්‌කක් නොවේ. මේ තුළින් තිර රචනයද වඩාත් අර්ථවත් වෙනව. හර්බට් රංජිත් පීරිස්‌ගේ හිරුට මුවාවෙන් විමලරත්න අධිකාරිගේ ඉසිවර අසපුව, ජීවිතය සුන්දරයි, වටමළුව - සියපත, දයාරත්න රටගෙදරගේ බෝගල සවුන්දිරිස්, සිත නිවන කතා, සුසිරන් ද සිල්වාගේ එකට ගැටුම, ඉසුරු යෝගය ටෙලි වෘත්තාන්තවල සුමින්දගේ රංගන ප්‍රතිභාව මැනවින් විද්‍යමාන වුණා. මොහාන්ජි රංගනාථගේ අසනිවැසි නාට්‍යයේ සියාතු ගුරුන්නාන්සේගේ චරිතය මෙන්ම යස ඉසුරු නාට්‍යයේ ධර්මරත්නගේ චරිතය ප්‍රේක්‍ෂක මතකයේ රැඳී පවතී. ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් මිදීම සඳහා කරන අරගලයේදී තවතවත් අර්බුදවලටම පැටලෙන ගබඩා පාලකවරයකු ලෙස වටමළු, නාට්‍යයේ සුමින්ද ඉදිරිපත් කරන්නේ අසාමාන්‍ය චරිතයකි. නාලන් මෙන්ඩිස් අධ්‍යක්‍ෂණය කළ සඳලුතලය ටෙලි වෘත්තාන්තයේ බාසුරු නම් නාට්‍යකරුවාගේ චරිතයට පණදුන් ආකාරය සිත් ගන්නා සුලුයි. තමන්ද නාට්‍යකරුවකු බැවින් ඔහු ඒ සඳහා සිය ජීවන අත්දැකීම් ද උපයෝගී කරගන්නට ඇත. සුමින්දගේ ගායන හැකියාවන් ද එම චරිතය ඔපමට්‌ටම් කර ගැනීමට ඉවහල් වී ඇති බව ටෙලිනාට්‍ය නැරඹූ අපට පැහැදිලිවන කරුණකි.
සුමින්දගේ රංගන ජීවිතයේ දැඩි අභියෝගාත්මක චරිතයක් ලෙස මා දකින්නේ මවිසින් නිර්මාණය කරන ලද "චරිත තුනක්" ටෙලිවෘතාන්තයේ "ඉසා" ගේ චරිතයයි. වයස අවුරුදු 35 සිට 70 පමණ දක්‌වා විකාශය වන කාල පරාසය තුළ වෙනස් වෙමින් ගලන ජීවන ගංගාවක විවිධ හැඩතල මනාව ඉස්‌මතු කිරීමට සුමින්ද ගත් උත්සාහය සුළුපටු නොවේ. නිරතුරුවම එම චරිතය අධ්‍යයනය කරමින් කේ. ජයතිලක, සෝමවීර සේනානායක, පණ්‌ඩිත් අමරදේව සහ මා සමග සාකච්ඡා කරමින් ඉන් නොවැතී නළු නිළියන් සමගද සාකච්ඡා කරමින් කන්නිමහර ගමේ ජීවත්වෙමින් කළ කැපකිරීම සුළුපටු නොවේ. පටිගත කිරීමක් අවසානයේ තම රංගනය පිළිබඳව තමන් කොතරම් සෑහීමකට පත්වුවද එය හරිද? හරියට ආවද? හොඳට කළාද? අඩුපාඩු තියෙනවද? යනුවෙන් අධ්‍යක්‍ෂවරයාගෙන් විමසීම මොහුගේ නිහතමානී ගති ලක්‍ෂණයකි. චරිතාංග නළුවන් අතරින් සුමින්ද මුල්තැනක සිටින බව දැක්‌වීමට ඉහත උදාහරණ ප්‍රමාණවත් යෑයි මම සිතමි. දුක, වේදනාව මෙන්ම සතුට, ප්‍රීතිය පමණක් නොව ආදරය, දයාව, කරුණාව, උපේක්‍ෂාව යන විවිධ මනෝභාවයන් සිය රංගන කෞශල්‍යයට නතුකර ප්‍රතිනිර්මාණය කිරීමට සිය ආත්මය කොටගත් සුමින්ද වේදිකාවත් රූපවාහිනියත් ආක්‍රමණය කළ අභියෝගාත්මක නළුවකු ලෙස හැඳින්විය හැකිය.
ටෙලිවෘත්තාන්තවලට අමතරව සුමින්ද ඒකාංග නාට්‍යවලද රඟපා තිබෙනවා. මවිසින් අධ්‍යක්‍ෂණය කළ උඩුපිලයි යටිපිලයි, කඩතිර, කුහකයා, නදීතෙර, දෙමව්පියෝ, දරු සුරතල්, විමලරත්න අධිකාරිගේ පාරමීදම්, තිමිර රංජිත් පෙරේරාගේ එහාගෙදර, විජය ධර්මශ්‍රීගේ අපේ කාලේ ගැහැනියක් යන නාට්‍ය ඉන් කිහිපයකි. ජනක සුරංජිත්ගේ ඇබෑර්තු ඇත. විජිත මංජුලගේ සල්මල් ලන්ද ටෙලිවෘත්තාන්තය මෑතකාලයේ රංගනයෙන් දායක වූ නාට්‍යවලින් කිහිපයකි. සිනමාව සඳහා සුමින්දගේ රංගනය මුලින් ම යොදා ගන්නේ විජය ධර්මශ්‍රීගේ "දුහුළු මලක් "චිත්‍රපටය සඳහායි. ඉන්පසුව එච්. ඩී. ප්‍රේමරත්නගේ "සප්ත කන්‍යා" සඳහා දායක විය. රංගනයේදී සුමින්දගේ කැපී පෙනෙන විශේෂත්වය නම් ඔහු කිසිවිටෙකත් එකම ආකාරයේ චරිතවලට කොටුවී නොසිටීමයි. ඉතා කෙටිකාලයක් තුළ ප්‍රතිභාපූර්ණ තත්ත්වයට පත්වීමේ වාසනාව සුමින්දට අත් පත්කර දුන්නේ එම සීමාසහිත බවින් අත්මිදීමට ඔහුට පුළුවන්වී තිබීම හේතුවෙනි. එපමණක් නොව වේදිකාවෙන් රඟපෑම පිළිබඳ ඔහු ලත් පන්නරය ටෙලිනාට්‍ය රංගනය ඔපමට්‌ටම් කර ගැනීමට ඔහුට ඉවහල් වූ බව පෙනෙනවා. ටෙලි නාට්‍ය රංගන කලාවක් උත්පාදනය කිරීමේලා පෙරමුණ ගෙන ඇත්තේ ඔහුටත් නොදැනුවත්වමයි.
සුමින්ද සිරිසේන මගේ ජීවිතයේදී මුණගැසුණු එක් අසාමාන්‍ය පුද්ගලයෙකි. ජීවිතයේ විවිධ හැලහැප්පීම් විඳදරා ගනිමින් අරගලයක යෙදෙන මිනිසුන්ගේ විවිධාකාර ජීවන අවස්‌ථා සිය ආත්මය කොටගෙන ඒවා රංගනය මගින් ඉදිරිපත් කිරීමෙන් ඇතිකරනු ලබන කම්පනය කරණකොට මම ඔහු අපූරු නළුවකු ලෙස දකිමි. කාලයේ වැලිතලාවෙන් අප මතකයේ ගිලිහී යානොදී එය අප මතකයේ සදාකල් රඳවා තබන්නට තරම් සිය රංගන ප්‍රතිභාව සංවේදී කරගත් සුමින්ද රාජ්‍ය නාට්‍ය උළෙලින් මෙන්ම රූපවාහිනී සම්මාන උළෙලවලදීද කිහිපවතාවක් රංගනය සඳහා සම්මාන ලබාගෙන ඇත.
ප්‍රේක්‍ෂක, විචාරක ගරු බුහුමන් ලබමින් සිටින සුමින්දට තවදුරටත් රංගන ක්‍ෂේත්‍රයට දායකවීමට අවශ්‍ය ශක්‌තිය හා ධෛර්යය ලැබේවා·
සුමින්දට නිදුක් නිරෝගී සුවය ඉක්‌මනින්ම ප්‍රාර්ථනය කරමි.
- තිලක් ගුණවර්ධන (වේදිකා නාට්‍ය නිෂ්පාදක - ටෙලිනාට්‍ය අංශ අධ්‍යක්ෂ, ජාතික රූපවාහිනියේ හිටපු නාට්‍ය අංශ ප්‍රධානී සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වැඩසටහන්)
(උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි.)
පොත් හතක් අටක් දැනටත් ලියා දාලා
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා
ඇත්ත නැත්ත ගැන මම නෑ වෙහෙසෙන්නේ
නිතරම පත්තරේට මගෙනුයි විස්තර යන්නේ
පුස්තකාලෙමයි කාලය ගතවෙන්නේ
ඒකයි ගත්කතුයි කියා කවුරුත් අමතන්නේ
පොත් හතක් අටක් දැනටත් ලියා දාල
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා
අන් විදෙස්වලත් තොරතුරු සපයන්නේ
ඔහෙලට මං නැතොත් වෙන කවුරුද ඉන්නේ
කාණුවෙත් නොයෙක් බිහිසුණු වැඩ වෙන්නේ
මෙ පුවත් පාලනේ මගින් කැපිලයි පලවෙන්නේ
පොත් හතක් අටක් දැනටත් ලියා දාල
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා....
ගායනය : සුමින්ද සිරිසේන
නාට්‍යය : මී පුර වැසියෝ (සෝමරත්න දිසානායක)
Audio: http://www.mediafire.com/?bzr8u9ra8cdcak3
මී පුර වැසියෝහි සුමින්දගේ රංගනයක් (video):http://www.youtube.com/watch?v=CQkRgNYTKTc
(මෙම ගීතය පිළිබඳව හෝ සුමින්ද සිරිසේනයන් පිළිබඳව ඔබ දන්නා දේ සහ ඔබට හැඟෙන දේ අප සමඟ බෙදාගන්න.)
තිස්ස දොඩන්ගොඩ කියන්නෙ දක්ෂ ප්‍රවීණ ගේය පද විචාරකයෙක්..... ඉතින් එතුමා එතුමගේ අත්දැකීමක් පැහැදිලිකරල තිබුන... මම ඒක මේ විදියට එතුමා කියන විදියටම අපේ යාළුවන්ට දැනගන්න දාන්නම් එහෙනම්....1993 දවසක අප හමුවන්න කොලඹින් පිට ප්‍රසිද්ධ විදුහලක දෙටු සිසුවෙක් ආවා... ඔවුන්ගේ විද්‍යා ප්‍රදර්ශනයට අපේ විශ්ව විද්‍යාලයෙන් ප්‍රදර්ශන භාණ්ඩ රැගෙන යන්න... ඔහුට අවශ්‍ය ඡායා පිටපත් වගයක් ලබාගන්න යන්ත්‍රය ලඟට මම ඔහුව ගෙන ගියා... දිග පෝලිමක්... වැඩියෙන්ම හිටියේ Architecture Faculty එකේ ගැහැණු ළමයි... මම ඔවුන් සියල්ලගෙන් අවසර ගෙන, මේ දරුවට පරක්කු වෙන නිසා වැඩේ කරලා දුන්නා...අපසු එන ගමනේදී මේ දරුවා මට කියනවා "මම බඳින්න හිටියේ ඉන්දියාවෙන්... බැලුවහම ලංකාවෙත් ලස්සන ඒවා ඉන්නවා නේද..." කියලා... මාව හොල්මං... විවාහය ගැන ඔහුගේ තිබ්බේ ඒ වාගේ අදහසක්...
මාත් එක්ක අර අපට රන්බඩු ගන්න ගිය මිත්‍රයා තමයි අපේ නඩෙන් ඉස්සෙල්ලාම විවාහ වුනේ.. බැන්ද තරුණිය ඉතාම හැඩයි.. හරියට ශ්රීය දේවී වාගේ... ඔවුනගේ පලමු දරුවට අවුරුද්දක් වෙන්න ඔන්න මෙන්න කියලා ඇය ස්වාමියත් දරුවත් දමා හදිසියේ වෙනෙකෙකු සමග ගියා, මහ දවාලෙම... එදා රෑ, දරුවගෙ අත්තම්මත් මමත් මගේ මිත්රතයත් දරුවව නලවන්න පුදුම උත්සහයක් ගත්තා...දරුවා නිදන්න පුරුදු වෙලා හිටියේ කිරි උර උර... විකල්පයක් නැති තැන මම මගේ බිරිඳට කතාකලා.. මගේ දරුවට මාසයයි එතකොට ..ඇය එක පයින් එකඟ වුනා ඒ දරුවට කිරි දෙන්න... ඒත් අවසානයේ ඒ දරුවගෙත්, මගේ දරුවගෙත්, අත්තම්මලාගේ විප්රුකාර නිසා අඬලා අඬලා ඒ කිරිසප්පයා, බඩ ගින්නේම නිදා ගත්තා... ගැහැණු හතරදෙනෙක්ගේ, රාගයටයි, කරුණාවටයි, මාන්නයටයි, බොරු බයටයි මැදිවෙලා, බඩගින්නේ නිදාගත්තු ඒ කිරි සප්පයාව දුටු මට හැබෑවටම මේ සිංදුව මතක් වුනා... ඔබේ හිතත් චංචල නම්, බැන්දත් දරුවො නම් හදන්න එපා... ඒ අහිංසකයෝ ඒ මොකකටවත් පලි නෑ...
මේ ගීතයේ ආරම්භයත් හරිම අභව්යායි... ගීත 5 record කරන්න හිටපු ටී එම් ටයි, කේමදාස මාස්ටර් ටයි තිබිලා තියෙන්නේ ගීත 4යි...ගී 4 කට සංගීතය සපයපු ශිල්පියොත් පිටත්වෙලා, 5 වෙනි ගීතය ප්‍රමාද නිසා... කරන්නම දෙයක් නැතිව මාස්ටර් ධර්මසිරි බණ්ඩාරනායකට දුරකතනයෙන් ඇබැද්දිය කිව්වම, "එහෙමනම් කොලයක් ගනිමුකො..." කියල දුරකතනයෙන් මේ ගීයේ පද වැල් කිව්වලු... ඒවෙලාවෙම තණුවක් යොදලා, අතේ තිබුණු ගිටාරයෙන් පමණක් සංගීතය යෙදු මේ ගීය, සෝකයෙන් බර නොකරන්නේ කොයි තාත්තගෙ හිතද...?
(උපුටා ගැනීම elakiri.com හි sasliit ගෙනි.)
පවනට සැලෙනා... දොඹ මල් සුවඳින්...
ආදර හසරැලි මුවට නැගෙයිදෝ...
සවනට කොඳුරා... පවසන වදනින්...
ආදර හැඟුමන් සිතට දැනෙයිදෝ...
මල් ඇතුරුනු ඒ සුව යහනේ ඔබ
අඩවන් දෙනෙතින් ආලවඩයිදෝ
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා
ඒ දුක්බර හඬ ඔබට ඇසෙයිදෝ
ඇකයේ සිට මා පුතු හඬනා සඳ
ලේ කිරි වී දැයි නොදනිමි මා ළඳ
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ
දුටුවේ වැගිරුනු කඳුළු පමණි ළඳ
පද: ධර්මසිරි බණ්ඩාරනායක
තනු: ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
හඬ: ටී.එම්.ජයරත්න
Video: http://www.youtube.com/watch?v=s1FD4U3JNSc
Audio: http://www.mediafire.com/?nkwjkhxsj4pbku4
(මෙම ගීතය පිළිබඳව පිළිබඳව ඔබ දන්නා දේ සහ ඔබට හැඟෙන දේ අප සමඟ බෙදාගන්න.)
ගිම්හානය පලා ගිහිං..... ගහකොළ අතුරිකිලිs මලින් බර වෙලා... ඒ මල් සුවඳ මුසුව හමා එන සිහිල් සුළං රැල්ල.... නැවුම් හැඟුම්වලින් ගත සිත පුබුදුවනවා.. වසත්කාලය ඇවිදින්... කොයිතරම් සුන්දරද.......
තනිකම..... හුදෙකලාව සමඟ කාලාන්තරයක් ජීවත් වූ තරුණයකුගේ හදවතට මල් හීසර පහර වැදුණොත්.... වසන්ත කාලය වගේ හිතපුරා මල් පිපෙනවා. උපදින නැවුම් සිතිවිලි.. කෙළවරක් නැහැ... අපේක්‍ෂාවන් ප්‍රාර්ථනාවන් වැහි වහිනවා........
මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ මධු මල් පිපෙනා
බිඟුරැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි...
ප්‍රේමයේ ඇති සංවේදීතාවය නොලද තරුණයෙක්..... දිගු කලක් හුදෙකලාව දිවි ගෙවූ චරිතයක්..... දැන් ප්‍රේමවන්තයෙක් වෙලා...... පළමු පෙම..... ජීවිතයට වසන්තය උදාවෙලා. කුළුඳුලේ ආ වසන්තය..... ඔහුගේ ජීවිතය පුරා මල් පිපිලා.... ඒ විතරක්‌ද.. ඒ මල් රොන් සොයා එන බිඟුන්ගේ නාදය.......වසන්තය කොතරම් සුන්දර ද......
සනත් නන්දසිරිගේ කැසට්‌පටයට සිංදු දෙකක් ලියාදෙන්න කියලා කිව්වා. මනෝඡ් පීරිස් මට පොඩි ඉඟියකුත් දුන්නා.... අයියේ.... සීත රෑ යාමේ වගේ සිංදුවකුත් හොඳයි කියලා. ප්‍රේමය වස්‌තු විෂය වූ ගී තමයි ඉල්ලන්නේ. ඉතින් විරහ ගීයක් නැතිව ප්‍රේමයේ ආනන්දය, චමත්කාරය ඇතුළත් කෙටි වචන ටිකක් යොදමින් මම මේ ගීතය ලියුවා. ගීයේ පද රචකයා කුලරත්න ආරියවංශ පැවසුවා..
තරු නැගෙනතුරා නිදිබර අඹරේ
සඳු නැගෙන තුරා සිටියදී අඳුරේ
ඔබ සුපුන් සඳක් සේ පායා
පහන් රැයක් වී ආවේ...
ආදරයේ අත්දැකීම් නොලත් මේ හිරිමල් යෞවනය පාළුවෙන් ගත කළ ජීවිතය... අන්ධකාරයි... හුදෙකලාව සිටිද්දී බලාපොරොත්තු පොදියකින් හිත පිරිලා.. තාරුකා මල් පිපෙන තුරා නිද්‍රාශීලීව සිටි අම්බරය වගේ... සඳ පායා එනතුරා අඳුර රජ කළා සේ.... හුදෙකලා ජීවිතයට ඇය ආවා. හරියට අන්ධකාර රාත්‍රියට සඳ එළිය වැටුණා වගේ...
වචන අඩුවෙන් සංගීතඥයාට වැඩි ඉඩක් දීලා.. ප්‍රේමයේ සතුට උද්දීපනය වන ආකාරයට මේ පද පෙළ ලියෑවුණා කියා මම හිතනවා..... රෝහණගේ තනුව, සංගීතය ඉතාම මධුරයි.. සනත්ගේ හඬ. අවුරුදු හතළිහකට කලින් ඇසූ තාරුණ්‍යයේ හඬ.... තරුණ්‍යයේ හැඟීම්.. ගායනයෙන් ඉස්‌මතු වුණා. කුලරත්න ආරියවංශ .... ගායනය තනුව ගැනත් තෘප්තිමත්.
සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ
ඔබ සිහිල් දොළක් සේ පාවී
වසන්තයක් වී ආවේ...
ගිනියම් වූ කතරක ඉමක් නොපෙනෙන මිරිඟුව දෙස බලමින් පිපාසාව සංසිඳුවා ගන්නවා. ඒත් ඒක මායාවක්... ඒ අතරේදි දිය පොදක් සැබෑවටම ලැබුණොත්.... කර්කශ පොළොවක් ඇති කතරක ගමන් කරද්දී සිසිල් ජලය සහිත දොළක් හමු වුණොත්.... "ඕ ... මේ තරුණයාගේ ජීවිතයට ආවේත් හරියට කතරක හමුවන සිහිල් දොළක් වාගේ....... ඇත්තටම වසන්තය ආවා වාගේ.....
ගීයෙ පද මාලාව ... සනත් නන්දසිරිගේ ළගන්නා හඬ වගේම රෝහණ වීරසිංහගේ මාධුර්යය ගී තනු.... එක්‌තැන් වී හැදුණු මේ ගීය අසද්දී ඇතිවන ආදර හැඟුම්..... වසන්තයක අසිරිය නොදැනෙන හිතක් ඇද්ද.....
- අජිත් අලහකෝන්
(දිවයින පුවත්පතින් උපුටා ගත්තකි)
මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ මධු මල් පිපෙනා
බිඟුරැව් නැඟෙනා
මේ ප්‍රථම වසන්තයයි
තරු නැඟෙන තුරා නිදිබර අඹරේ
සඳු නැඟෙනතුරා සිටියදි අඳුරේ
ඔබ සුපුන් සඳක් සේ පායා
පහන් රැයක් වී ආවේ
සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදී කතරේ
ඔබ සිහිල් දොළක් සේ පාවී
වසන්තයක් වී ආවේ
පද: කුලරත්න ආරියවංශ
තනු: රෝහණ වීරසිංහ
හඬ: සංගීත් නිපුන් සනත් නන්දසිරි
Video: http://www.youtube.com/watch?v=auT0Q2BW0ZI
Audio: http://www.mediafire.com/?80vzgx6h343cae2
(මෙම ගීතය පිළිබඳව පිළිබඳව ඔබ දන්නා දේ සහ ඔබට හැඟෙන දේ අප සමඟ බෙදාගන්න.)
ජීවිතය කියන්නේ අස්‌ථිර දෙයක්... එක පැත්තකින් බලද්දී... මුළාවක්... මේ ලෝකයේ හැම දේම එහෙමයි... බලාපොරොත්තු තියාගන්න බැහැ... වෙනස් වන සුළුයි... ආදරේත් ඒ වගේ... අවිනිශ්චිතයි.අපි කැමැති හැම දෙයක්‌ම අපට ලැබෙනවද... නැහැ... අපිට වුවමනා දේමද මේ ලෝකෙ සිද්ධ වෙන්නෙ... නැහැ.... සොබා දහමත් එහෙමයි.... සොබා දහමටත් බැහැ අපි කැමැතිදේම ඉටු කරන්න....
හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ...
හෙළන්න බැරිව ලතවෙනා සුසුම් සදා
කියන්නෙ ජීවිතේ මුලාව දෝ...
මේ ගීතයෙන් කියන්නෙත් එහෙම කතාවක්. ආදරයේ අවිනිශ්චිත බවයි මේ යුවළ අතර ඇතිවන සංවාදයෙන් අර්ථවත් වෙන්නේ...
ඔබේ දෙනෙත් හැඬුම් බරයි.... එයෙන් පෙනෙන්නේ ජිවිතයද... ඔහු අසනවා... සුසුම් සිරවෙලා... පිටකරන්න බැහැ... ඒ කියන්නේ ජීවිතේ මුලාවක් කියලද... ඇය කියනවා...
මේ ගීය ලියුවේ බන්ධුල නානායක්‌කාරවසම්... ගීයට නිමිත්තක් නැහැ... ඒත් ගීය පසුබිමේ හොඳ කතාවක් තියෙනවා...
මේක තමයි තනුවකට වචන දමා ජනප්‍රිය වූ මගේ පළමු ගීතය... රෝහණ වීරසිංහ තනුව කැසට් එකකට ටේප් කරලා මට දුන්නා... මම ටේප් එක ඇහුවා... තනුවට ඔහු වචන ටිකකුත් දමලයි තිබුණේ...
නටන්න ගස් වටේ දුවන්න කෑගසා.. වැල්වලින් එතී
රඟන්නකෝ....
ඉන්පස්‌සේ තරු ඇසත්... පද පෙළ වෙනුවට,
ප්‍රේමයේ සුසාන භූමියේ....
මළ මිනී සිනා සිසී නැගේ...
කියලා රෝහණ ලියා තිබුණා. ඒ කාලේ සුනිල් අර්. ගමගේලාට පිළියන්දල සුපර් මාර්කට් එකේ සාප්පුවක් තිබුණා. කටුවාවල ගෙදර ඉඳලා සුනිලුයි නෝනයි දෙන්නම මේ සාප්පුවට යනවා. එහෙම දවසක මමත් හිටියේ ඒ ගෙදර. මම ගෙදර නැවතුනා සිංදුව ලියන්න. ගෙදර කවුරුත් නැහැ... සිංදුව ලියන්න මට මොන විදිහකින්වත් වචන එන්නේ නැහැ... දවල් එකොළහ වෙද්දී හිතුනා ලියන්න බැහැ කියලා... දමලා ගහලා දොරවල් වහලා මමත් ගියා සාප්පුවට සිද්ධිය කිව්වා. "මල්ලී... මටත් ඔහොම වෙනවා... ගණන් ගන්න එපා... ආපහු ගෙදර ගිහින් ලියන්න කියලා බල කළා... මම ආයෙත් ගෙදර ගියා... මේ ගීය එඩ්වඩ් එක්‌ක ධම්මිකාත් ගයනවා කිව්වාම මම ආසාවෙන් හිටියේ... ඇය කීර්ති එක්‌ක ගයන කවිකාරියේ... ගීතය ඒ කාලේ හරිම ජනප්‍රියයි. මම ගීය ලියන්න කලින් ධම්මිකාව හිතේ මවාගත්තා... ඉබේම වචන ආවා...
තරු ඇසක් ඇරී උදාගිරේ
බිම් මලක් මුවින් හිනා නැගේ
තරු ඇසේ කතා මියේද
බිම් මලේ හිනා මැකේද
මේ වෙනස දෝ ආදරේ....
ගිරි මුදුනින් උදාහිරු පායද්දී තරුවල ඇස් ඇරෙනවා... බිම්මල් පවා මුවපුරා හිනාවෙනවා... ඔහු කියද්දී ඇය එහි නිස්‌සාර බව, අනියත බව සිහිපත් කරන්නේ මෙසේයි.
තරු ඇස්‌වලින් කියන කතා මිය යාවිද... බිම්මල් මුව පුරා නඟන සිනා මැකී යාවිද... මේ වෙනසම නේද ආදරේ කියන්නේ...
මේ ගීයට පුදුමාකාර ප්‍රතිචාර ලැබුනා... මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මගේ සිනා පොදක් උත්සවේදී ප්‍රසිද්ධියේ කිව්වා "මම නම් ජීවිතේට හිතුවේ නෑ කලින් දුන්නු තනුවකට හඬන්න ළංව වගේ වචනවලින් ගීයක් ලියෑවේවි" කියා මහාචාර්යතුමා කිව්වා...
සඳ රැහැන් වැටී සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ
හිරු ඇවිත් එ මල් දවාද
ඒ දුකත් වසන්ව යාද
මේ අරුත දෝ ආදරේ.....
කුමුදු මල් පිපෙන්නේ ජලයේ... සඳකිරන නිසා කුමුදු මල සුදට සුදේ ලස්‌සනට පිපෙනවා... ඒත්... හිරු ඇවිත් ඒ මල් විනාශ කරයි... ඒක දුකක්... ඒත් ඒ දුකත් සැඟවිලා යාවි... ආදරයේ අර්ථයත් මේකද....
මේ ගීය උපමා රූපකවලින් පිරුණු ගීයක්... එඩ්වඩ් ජයකොඩිගේ සරාගී හඬට ධම්මිකා බණ්‌ඩාරගේ හඬ ඉතා මැනවින් ගැළපෙනවා.... රෝහණ වීරසිංහයන් බටහිර තාලයෙන් වගේම පෙරදිග තාලයටත් ගීතය හැඩකර තිබෙනවා... හොඳින් අසන්න.... හඬන්න ළංව... කොටස කියද්දී ඩ්‍රම්ස් නාදය යොදාගන්නා රෝහණ "තරු ඇසත් ඇරී උදාගිරේ..." කොටසේදී තබ්ලාව යොදා ගන්නවා... ගීතයේ ජනප්‍රියත්වයට මෙයද හේතු වූ බව බන්ධුල පිළිගන්වා....
මෙය ජීවිතය ගැන ප්‍රශ්න කරන ගීයක්... ඒත් මධුර පදමාලාවක්... අවසාන වශයෙන් බන්දුල හෙළි කළ තවත් කරුණක් සඳහන් කරන්නම්...
මේ ගීය අහලා කරුණාරත්න දිවුල්ගනේ උමතු වුණා... ඔහුටත් මේ වගේ රෝහණගේම තනුවකට ගීයක් ලියාදෙන්න කිව්වා....
නෙලන්න බැරි දුරින් පිපී...
කියන්න දුක රැඳී එමී....
පවන් රොදේ...
දීපිකා ප්‍රියදර්ශනී සමග ඔහු ගයන මේ ජනප්‍රිය ගීය බිහි නොවන්න තිබුණා "හඬන්න ලංව ඇති ඔබේ නුවන්..." ගීය ලියවුණේ නැත්නම්....
- අජිත් අලහකෝන්
(දිවයින පුවත්පතින් උපුටා ගත්තකි)
හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ
හෙළන්න බැරිව ලතවෙනා සුසුම් සදා
කියන්නෙ ජීවිතේ මුලාව දෝ...
තරු ඇසක් ඇරී උදාගිරේ
බිම් මලක් මුවින් හිනා නැගේ
තරු ඇසේ කතා මියේද
බිම් මලේ හිනා මැකේද
මේ වෙනස දෝ ආදරේ...
සඳ රැහැන් වැටී සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ
හිරු ඇවිත් එ මල් දවාද
ඒ දුකත් වසන්ව යාද
මේ අරුත දෝ ආදරේ...
පද: බන්ධුල නානායක්‌කාරවසම්
තනු: රෝහණ වීරසිංහ
හඬ: එඩ්වඩ් ජයකොඩි, ධම්මිකා බණ්‌ඩාර
Video: http://www.youtube.com/watch?v=XxFUMw7dFZU
Audio: http://www.mediafire.com/?m68d6zklvhjkbok
(මෙම ගීතය පිළිබඳව පිළිබඳව ඔබ දන්නා දේ සහ ඔබට හැඟෙන දේ අප සමඟ බෙදාගන්න)
ආදරය බොහොම පූජනීය දෙයක් විදියට දකින ඒ වගේම ගෞරවයෙන් යුතුව ඒ දිආ බලන අය අප බොහෝ අවස්ථාවලදී දැක තිබෙනවා. නමුත් ඇතැමුන් ආදරය දිආ බලන්නේ කායික ආසවන් මුදුන් පමුණුවා ගත හැකි තෝතැන්නක් හැටියට පමණයි. මේ විදිහට දකින අයට සැබෑ ප්‍රේමයක මිහිර විඳින්නට වාසනාවක් නැහැ. ඒ වෙනුවට ලැබෙන්නේ පසුතැවිල්ල හා වේදනාව පමණයි.
අද අපි ගීයක් රිද්ම සඳහා තෝරාගත්තේ එවැනි තේමාවක් තුළ ලියැවුණු ගීතයක්. මේ ගීතය ගායනා කරන්නේ නව පරපුරේ ජනප්‍රිය ගායිකා ශෂිකා නිසංසලායි. "සිරස එෆ්.එම් රේඩියෝවෙන් මගේ අලුත් ගීත දෙකක් නිර්මාණය කළා. අන්න ඒ මොහොතේ මට ඕනෑ වුණා යමුනා මලිනී පෙරේරා මහත්මියට කියා ගීතයක් රචනා කරවා ගන්න. අන්න ඒ මොහොතේ තමයි ගීතය මා අතට පත් වුණේ. ඇත්තටම ගීතය සිරසෙන් ඇහෙන්න පටන් ගනිද්දීම හුඟක් හොඳ ප්‍රතිචාර ආවා. මම හිතන්නේ ඒකට යමුන මාලිනී පෙරේරා මහත්මියගේ පද රචනාවට කසුන් කල්හාරගේ තනුවත් බලපෑවා කියලයි. ඔහු ඉතා හොඳ තනුවක් මේ වෙනුවෙන් යොදා තිබුණා." මෙහෙම කිව්වෙ ශෂිකා නිසංසලායි.
මේ ගීතය ලිව්වෙ යමුනා මාලිනී පෙරේරා බව අප ඔබට කිව්වා. ඇය මේ ගීතය ලිව්වෙ ඇගේ රසිකාවියකගේ අත්දැකීමක් මුල් කරගෙනයි. "සාමන්‍යයෙන් බොහෝ ගැහැනු පිරිමි අය මා හමු වෙනවා. ඒ වගේම කතා කරනවා. මේ විදිහට දුරකතනය ඔස්සේ කතා කළ තරුණ ගැහැනු ළමයෙක් මා හමුවීමට අවශ්‍ය බව පවසා මගේ රාජකාරි ස්ථානටය ආවා. ඇය ඇවිත් මේ ගීතයට පසුබිම් වී තිබෙන දේ මා සමඟ කිව්වා."
"මේ තරුණ ගැහැනු ළමයා එක්තරා පිරිමි ළමයකුට ආදරේ කර තිබෙනවා. ඇය ඔහුට ආදරය කර තිබෙන්නේ කායික ආසාවක් හිතේ තියාගෙන නෙමෙයි. නමුත් ඇයට වඩා මඳක් වැඩිමහල් තරුණයා ඇගෙන් කායික ආසාවන් මුදුන් පමුණුවාගන්න කටයුතුකොට තිබෙනවා. මෙන්න මේ පරිසරය තුළ තරුණ යුවතිය කළකිරීමට පත්ව තිබෙනවා. අවසානයේදී ඇය ආදරයට සමු දී පැත්තකට වෙලා."
"ප්‍රාර්ථනා මහ කන්දේ
කළුවර පාමුල උන්නේ මං
නුඹේ නුරා තරු එළියේ
කඳු මුදුනට ගෙන
නොගියා නම්...."
"මේ පද ටික හා ගීතයේ ඉතිරි පද ටිකත් ඔබ හොඳින් කියවා බැලුවොත් ගීතය ඔබට හොඳින් තේරුම් ගන්න පුලුවන් වේවි. ගැහැනු ළමයෙක් මුලින්ම ආදරය කරන්නේ මහමෙරක් තරම් උසට. ලෝකයක් තරම් බරට. ඒත් ඇතැම් පිරිමි අයට මේ ආදරේ තේරුම් ගන්න අමාරුයි. කායික ආසාවන් හැමදේකටම වඩා වැඩියෙන් ඉදිරියට ගෙනත් තියලා අර සුන්දර කුළුඳුල් ආදරය අවහිර කරනවා. අවසානෙයේදී සිදුවන්නේ පසුතැවිලි වෙන්න විතරයි." යමුනා මලිනී පෙරේරා ලියූ මේ ගීතය තුළ ඒ අදහස පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. ගීතයට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින් ලැබෙන්නෙත් ඒ නිසයි.
- සමන් ප්‍රියංකර නම්මුනිගේ
(උපුටා ගැනීම ලක්බිම පුවත්පතිනි.)
------------------------------------------------------
මා අහසේ ලියූ දේ
පෙනුණේ නුඹට විතරමයි
මා සුළඟට කියූ දේ ඇහුවේ
කවුද නුඹ තමයි...
එහෙව් නුඹට නොදැනුණේ...
නුඹට දුන්න හිත තමයි...
මගේ කියා මට තිබුණෙත්
ඒ එක හිත විතරමයි...
විතරමයි... විතරමයි...
ඒ එක හිත විතරමයි...
ප්‍රාර්ථනා මහ කන්දේ
කළුවර පාමුල උන්නේ මං
නුඹේ නුරා තරු එළියේ
කඳු මුදුනට ගෙන
නොගියා නම්...
අදත් මා හිඳීවී තවත් නුඹ පතාවී
නුඹ ගැනම හිත හිතා ඉන්නට...
හිතවත් මට තියේවී... මා අහසේ...
විතරමයි... විතරමයි...
ඒ එක හිත විතරමයි...
පද: යමුනා මලිනී පෙරේරා
තනු: කසුන් කල්හාර
හඬ: ශෂිකා නිසංසලා
Video: http://www.youtube.com/watch?v=1hYZrLnEWcs
Audio: http://www.mediafire.com/?c0b16xev3un8980
(මෙම ගීතය පිළිබඳව ඔබ දන්නා දේ සහ ඔබට හැඟෙන දේ අප සමඟ බෙදාගන්න.)
මේගීතය අහලා නැති රසිකයෙක් නැති තරම්. විජය කුමාරතුංග හා චන්ද්‍රලේඛා පෙරේරා ගයන මේ ගීතයට මියුරු තනුවක් යොදා එය සංගීතවත් කළේ සරත් දසනායක. ඒත් ගීතය ලිව්වෙ කවුද? මේ ගීතය විතරක් නෙමෙයි ලංකාවේ ජනපි‍්‍රය ම ගීත රැසකම නිර්මාතෘවරයා ඔහු බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ.‘පාටපොදක් තිලක ලා’ (එච්.ආර්. ජෝතිපාල හා ඇන්ජලින් ගුණතිලක), ‘නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවේ’ (මිල්ටන් මල්ලවආරච්චි), ‘අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා’ (ලතා වල්පොල), ‘කැන්දන් යන්නම් මල්මල් මාලා දාලා’ (පි‍්‍රයා සූරියසේන, ග්‍රේෂන් ආනන්ද සහ පිරිස) වැනි ගීත පවා ලියු මේ රචකයා කවුද? ඔහු සෝමපාල ලීලානන්ද.
සෝමපාලට කලා ලෝකයේ තියෙන්නේ දිගු ඉතිහාසයක්. මුලින්ම ඔහු පුවත්පත් කලාවේදියෙක්. ‘දවස’ පුවත්පත් ආයතනයෙන් තම වෘත්තීය පුවත්පත් කලා ජීවිතය ඇරඹු සෝමේ ‘ලස්සන’ යන නමින් එවක පළවූ පුවත්පතේ උප කතුවරයකු ලෙස සේවය කළා.
සෝමපාල ලියපු මුල්ම ගීතය රසිකයන්ට අහන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ගීතය පටිගත වුණත් එය චිත්‍රපටයට ඇතුළත්ව තිබුණේ නැහැ. චිත්‍රපටයත් එසේ මෙසේ එකක් නෙමෙයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටයක්. ඒ ‘අක්කර පහ’. "ඒත් චිත්‍රපටය තිරගත වෙද්දි ඒ ගීතය චිත්‍රපටයේ තිබුණේ නැහැ. මං දන්නේ නැහැ මේ කතාවේ ඇත්ත නැත්ත. ‘අක්කර පහ’ නවකතාව ලියූ මඩවල එස්. රත්නායක මේ චිත්‍රපටයට සින්දුවක් දානවට කැමැති වෙලා නැතිලු. ඒකයි සින්දුව ඉවත් කිරීමට හේතුව.”
සරත් දසනායක චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු බවට පත්කිරීමේ ගෞරවය හිමිවන්නේ සෝමපාලටය. ඒ ‘විශ්මය’ චිත්‍රපටයෙනි. නාමාවලියේ නම සඳහන් නොවුවද එම චිත්‍රපටයේ තිරනාටකය සෝමෙගේය. ඔහු මේ චිත්‍රපටයට ගීතයක් ද ලීවේය. ගායනා කළේ ආචාර්ය අමරදේවයන්ය. ‘විශ්මය’ චිත්‍රපටය තිරගත වීම ප්‍රමාද විණි. සරත් දසනායක හා සෝමපාල ඉන්පසු එක්වූ ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටය ඊට පෙර ප්‍රදර්ශනයට ආවේය. ඇත්තටම සරත් දසනායක චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස වඩාත් ප්‍රසිද්ධ වුණේ ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටයෙනි. ඊට ගීත ලිව්වේ කරුණාරත්න අබේසේකර හා සෝමපාල ලීලානන්දය. “කරු අයියා ලිව්වෙ ‘අමර පෙම් ලතාවේ’ සින්දුව. ඉතිරි සින්දු ටික මම ලිව්වා. ඒ ‘දෑසේ මාගේ සැතපෙනා’, ‘වාසනාව දොර ඇරලා බලනවා’, ‘පෙම් රස වෑහෙන මංගල ගීතේ’.
සේන සමරසිංහ, සරත් දසනායක, සෝමපාල ලීලානන්ද ත්‍රිමූර්තියෙන් චිත්‍රපට ගණනාවක් තැනිණි. ‘සදහටම ඔබ මගේ‘, ‘කස්තුරි සුවඳ’, ‘නිල්ල සොයා’, ‘ආශා දෑසින්’, ‘මල් කැකුළු’, ‘ඈතින් ඈතට’ වැනි චිත්‍රපට ඊට උදාහරණය. ‘කස්තුරි සුවඳ’ චිත්‍රපටයේ සියලු ගීත රචනා සෝමේගේය. ‘පාට පොඳක් තිලක ලා’, ‘මල් වයසේ මධු සිහිනේ’, ‘හද විමන් දොරින්’, ‘ලස්සන ලෝකෙක ඉපදිලා’ එම ගීතය. මේ චිත්‍රපටයේ කතාව, දෙබස් හා තිරනාටකය ද සෝමේ ගේ වීම විශේෂත්වයකි.
“යෞවන උයනේ පියුම් තටාකේ” (නිල්ල සොයා) ‘බඹරා වගේ ඇත තවම විසේ’ (චණ්ඩි පුතා) ‘කඳුළැලි නෑනේ අප රැහේ’ (මිහිදුම් සිහින) ‘නෙළූ මලෙකිය’ (අහිංසා) සරත් දසනායක සෝමපාල ලීලානන්ද නිර්මාණාත්මක එකතු වෙන් බිහිවූ තවත් මධුරතර ගී කීපයකි.
සරත් දසනායකගේ සංගීතයෙන් පරිබාහිරව සෝමේ ලියූ ගීතයක් අතිශය ජනප්‍රිය විය. ඒ ‘රජ දරුවෝ’ චිත්‍රපටයට ලියූ ග්‍රේෂන් ආනන්ද ගයන ‘බිළිඳුගේ දරුවනේ මගේ’ ගීතයයි. ඊට තනු යොදා සංගීතවත් කළේ සෝමපාල රත්නායකයි. සෝමපාල එක් ගීතයක් හැර අන් සියලු ගී ලීවේ පූර්ව නිර්මිත තනුවලට වීම සුවිශේෂත්වයකි. සෝමේ පූර්ව නිර්මිත තනුවකට නො ලියූ එකම ගීතය ‘සැරයටියෙන් අපි යනෙන තුරායි.’
"මේක මගේ දින පොතේ නොදැනුවත්වම ලියැවුණු කවියක්. දවසක් දසේ ඔය කවිය දැක්කා. ඒකට තමයි තනුවක් දාලා සින්දුවක් විදියට නිර්මාණය කළේ. අපේ ගමේ හිටියා පොල් කඩන මිනිහෙක්. එයාගේ ඇස් පේන්නෙ නැහැ. කෝටුවක් අරගෙන තමයි ඇවිදින්නෙ. එයාගේ ගෑනු මනුස්සයාත් එයත් එක්කමයි හිටියේ. ඒක තමයි මේ සින්දුව ලියන්න නිමිත්ත කරගත්තේ."
සින්දුවේ එක තැනක තියෙනවා.
කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්
පතමුව සසරින් නික්මෙනදා
“මේ වචන ටික මගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධයි. එයින් කියැවෙන්නේ සංසාරේ එකට ඉන්න ඇය ඔහුගේ ප්‍රථම ප්‍රේමය නොවන බවයි. එතකොට ඇය කියනවා
සංසිඳුවා සිත පහන් කරන්නෙමි
මේ පෙම කුලුඳුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා
ඉතින් සංසාරෙන් සමුගන්නා දා ඒ ගමනත් ඔහු යන්නේ ඇයත් සමඟයි.
(සිළුමිණ පුවත්පතෙහි පළවූ ලිපියක් ඇසුරෙනි)
---- -- --- -- ---- -- --- -- ---- -- --- -- ---- -- --- --
සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සැරයටියෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු..
ජීවන මං පෙත මලින් සැදී ගීය
යුගයක නොව ඔබ හමු වූයේ
කටු කොහොලින් පිරි කලල් දියේ මා
තනිවම එද්දිය හමුවූයේ..
මින් මතු මංපෙත මලින් සදන්නෙමි
ළතැවුල් සෝ ගී නෑසෙන සේ
පමනක් නොව මේ සංසාරේ
උපදින වුව මතු සංසාරේ..
මතු සංසාරේ මා හුරුබුහුටිව
පෙම් කරන කල එලඹෙනදා
කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්
පතනෙමි සසරින් නික්මෙනදා..
සංසිඳුවා සිත පහන් කරන්නෙමි
මේ පෙම කුලුඳුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා..
පද: සෝමපාල ලීලානන්ද.
තනු: සරත් දසනායක
හඬ: විජය කුමාරතුංග, චන්ද්‍රලේඛා පෙරේරා
Video: http://www.youtube.com/watch?v=MtWT2YLehkU&feature=related
Audio: http://www.mediafire.com/?4gdpjddiyyp4kac
(මෙම ගීතය පිළිබඳව ඔබ දන්නා දේ සහ ඔබට හැඟෙන දේ අප සමඟ බෙදාගන්න.)
(වික්ටර් රත්නායකයන්ගේ 'ස' ප්‍රසංග සමුගැන්ම නිමිත්තෙන් අද දවසේ ගීතය වෙන් කෙරෙන අතර දිවයින පුවත්පතින් උපුටා ගත් අනර්ඝ ලිපියක් ගී මල් වැස්සෙන් ඔබට ඉදිරිපත් කරනු කැමැත්තෙමු)--- -- --- -- --- -- --- -- --- -- --- -- --- -- --- --
ස්‌තෝත්‍ර ගීතයෙන් ආරම්භ වන්නා වූ ගීත සරණිය වා ගැබට විහිදෙත්ම සියල්ලෝ මන්ත්‍ර දැහැනකින් මෝහනයට දැපනය වැටුණු කලෙක මෙන් වෙති. ජාති කුල ගෝත්‍ර භාෂාදි භේද දුර්භූතව සියලු හදවත් රහස් පෙම් දමෙකින් බැදි එකම හදවතක් වැන්න......."
මේ "යාපනයට සංස්‌කෘතික දූතයකු සපැමිණි වගයි" යනුවෙන් මහාචාර්ය සුචරිත ගම්ලත් සූරීන් වසර තිස් හයකට පෙර ලියූ සටහනක උපුටනයකි. කවුද මේ සංස්‌කෘතික දූතයා? ඔහු යාපනයට ආවේ කවර කටයුත්තකටද? යන පැනයත් ඔබේ සිතට නැඟෙනු ඇත. වික්‌ටර් රත්නායක නම් වූ මේ සංස්‌කෘතික දූතයාට යාපනයට ආරාධනා කළේ එවක යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් වූ මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය සුචරිත ගම්ලත් සහ ආචාර්ය ධර්මසේන පතිරාජයන් විසිනි. මේ අන් කවරකටවත් නොව මෙකල මෙන්ම එකලද රසික සිත් උමතු කළ "ස" ප්‍රසංගය සඳහාය. "ස" ප්‍රසංගයේ 301 වැනි ප්‍රසංගය යාපනය වීරසිංහම් ශාලාවේදී හැත්තෑ හයේ ජුලි තුන්වැනිදා පවත්වද්දී ලද ප්‍රතිචාර මහැදුරු සුචරිතයන්ගේ ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වේ. "ස" උන්මාදයක් බවට පත් විය. රසය සොයා යැමේ සොඳුරු උන්මාදයක් විය. තව තවත් ඉල්ලුම තියෙද්දී රසාස්‌වාදය පිපාසාවක්‌ව තිබෙන කලකදී "ස" සමඟ සමුගන්නට වික්‌ටර් රත්නායකයන් තීරණය කර හමාරය "ස" සමාප්තිය මෙම 18, 19, 20 තෙදින තුළදී පිළිවෙළින් නෙළුම්පොකුණ රඟහල, මහරගම යොවුන් රඟහල සහ "ස" ආරම්භ කළ ලුම්බිණි රඟහලෙන් අවසන් කෙරේ.
"ස" ඇරැඹෙන්නේ හරියටම මීට වසර තිස් නවයකට පෙරය. එනම් හැත්තෑතුනේ ජුලි 20 දා හැව්ලොක් ටවුන්හි ලුම්බිණි රඟහලෙනි. එකල පණ්‌ඩිත් අමරදේවයන් සහ විශාරද නන්දා මාලිනිය එක්‌ව කළ "ශ්‍රවණාරාධනා" රසික ප්‍රසාදය විශාල ලෙස ලබමින් රටවටා ගමන් කරන කාලයයි. රජයේ ලලිත කලායතනයේ නර්තන ශිෂ්‍යාවක් වූ චිත්‍රා රත්නලතා ජයසිංහ සමඟ විවාහ වූ වික්‌ටර් පදිංචිව සිටියේ නාවල ගල්පොත්ත පාරේය. ඒ ජයන්ත, චාන්දනී, මංජුලා, ලෙලුම් දරුවන් හතරදෙනා ද සමගිනි. ජයන්තට වයස අවුරුදු පහකි. චාන්දනීට වයස හතරකි. මංජුලා තුන් හැවිරිදිය. පොඩි පුතු ලෙලුම්ගේ වයස මාස කිහිපයකි. ඒ "ස" ආරම්භ කළ කාලයේය. එහෙත් අද වික්‌ටර් රත්නායකයන් "ස" අවසන්කරද්දී එදා ඒ දරුවන් සිටි වයසේ පසුවන මුණුබුරන්ගේ සීයා කෙනෙකි. "ස" ඒ තරම් කාලයක් ගමන් කර ඇත.
බණ්‌ඩාර කේ විඡේතුංග, ප්‍රේමකීර්ති ද අල්විස්, සුනිල් ආරියරත්න, කේ. ඩී, කේ. ධර්මවර්ධන, ආර්. ආර්. සමරකෝන්, හරිස්‌චන්ද්‍ර වීරසිංහ සහ චින්තන ජයසේන එකල වික්‌ටර්ගේ නවාතැනේ නිතර නිතර හමුවී සතුටු සාමිචීයේ යෙදෙති. එවන් දිනෙක මේ එක් සහෘදයෙක් තවකකුගෙන් මේ දවස්‌වල සාර්ථකම ප්‍රසංගය මොකක්‌දැයි විමසුවේය. "ශ්‍රවණාරාධනා....." කිහිපදෙනෙක්‌ම කීහ. "වික්‌ටර්ටත් පුළුවන්නේ තනිවම ප්‍රසංගයක් කරන්න" චින්තන යෝජනා කළේය. වික්‌ටර්ට බියක් දැනිණි. "ඒක පුද්ගල ප්‍රසංගයක් ලේසි නැහැ" ඔහුගේ මුවින් ඉබේම පිට වූ වචන කිහිපයකි. කෙසේ වුවත් සහෘදයන්ගේ යෝජනාව ස්‌ථිර විය. ප්‍රසංගයක් ආරම්භ කිරීමට නම් ඊට නමක් අවශ්‍යය. අපි ස්‌වර හතේ මුල් අකුර අරගනිමු. "ස" කියලා ප්‍රසංගයට නම තියමු........." චින්තන ජයසේන කළ යෝජනාව යළි ස්‌ථිර විය. චිත්‍ර ශිල්පි උපසේන ගුණවර්ධන ප්‍රසංගයට ඇඳුම් නිර්මාණය කර දුන්නේය. කිසිදු අය කිරීමකින් තොරව නූර්ටෙක්‌ස් ගාමන්ට් අධිපති විමලජීව ගනේගොඩ නොමිලේ ඇඳුම් ලබා දුන්නේය. ඒ වනවිට වික්‌ටර් ක්‍ෂේත්‍රයට පැමිණ වසර නවයක් ගතව ඇති නිසා හොඳ ගීත එකතුවක්‌ද තිබිණි. "ස" මංගල ප්‍රසංගයට හැව්ලොක් ටවුන් ලුම්බිණි රඟහල තෝරා ගත්හ. "ස" නිසාම එතෙක් කරගෙන ආ ගුරු වෘත්තියට ද වික්‌ටර් සමුදුන්නේය.
අපි ඔක්‌කොම රජවරු ඔක්‌කොම වැසියෝ
තුන් සිංහලයෙම නෑදෑයෝ
අපි ඔක්‌කොම මව්වරු ඔක්‌කොම පියවරු
තුන් සිංහලයෙම දූදරුවෝ......
එසේ ඇරැඹි "ස" රසික සිත් උමතු කරමින් පනස්‌වැනි දර්ශනය හැත්තෑ හතරේ සැප්තැම්බර් 28 දා පැවැත්වූයේ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වූ ප්‍රථම ඒක පුද්ගල සංගීත ප්‍රසංගය ලෙසට වාර්තාවක්‌ද තබමිනි.
"ස" සමාප්ති ප්‍රසංගය මෙන්ම එදා සියවැනි දර්ශනය ද තෙදිනක් පුරා පවත්වනු ලැබුවේය. ඒ ලයනල් වෙන්ඩ්ට් රඟහලේය.
මේ ආකාරයට දෙසීය තුන්සිය, පන්සීයද පසු කරමින් "ස" දහස්‌ගව්වට පිවිසෙද්දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් වූ ඡේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග යන අයද නරඹන්නන් බවට පත්වූහ.
මෙරට පමණක් නොව "ස" පළමුවරට විදේශීය ප්‍රසංගයක් පැවැත්වූයේ නවසිය හැත්තෑ අටේදී මැලේසියාවේය. ඉන්පසු 2011 ජනවාරි 30 ඔස්‌ටේ්‍රලියාවේ "ස" ප්‍රසංගයක් පවත්වනතුරු විදෙස් සංචාර හතළිහකට අධික සංඛ්‍යාවක් පවත්වා විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන්ට ද මධුර ගී රසය විඳින්නට අවස්‌ථාව ලබාදී ඇත.
වික්‌ටර් රත්නායකයන්ට, "ස" ප්‍රසංගයට රසික රසිකාවියන් එදත් අදත් එකසේ ආදරය කරති. ප්‍රසංගයක් අවසානයේදී රසික රසිකාවියන් වික්‌ටර් වට කර ගනිති. ඔහුගේ හිසකෙස් ගලවා ගනිති. ප්‍රසංගය පුරා ගී ගයද්දී උනන දහඩිය පිස දමන ලේන්සුව පවා උදුරා ගනිති. එසේ උදුරා ගන්නා ලේන්සුව සමඟ ද හතරට පහට ඉරා සිහිවටන සේ බෙදා ගනිති.
"ඔබේ හිසකෙස් හතළිස් නවයක් මම සුරැකිව තබාගෙන සිටිමි..." දිනක් වික්‌ටර්ට එක්‌තරා රසිකාවියක් ලියා එවා ඇත. "ස" ප්‍රසංගය හතළිස් නව වතාවක් නැරඹූ බවට එය සාක්‍ෂියක් බවද ඇය පවසා ඇත. ඒ තරම් උන්මාදයක් "ස" ප්‍රසංගය කෙරෙහි වික්‌ටර්ගේ ආදරණීය කටහඬ කෙරෙහි පැවැති නිසාම ඇතැම් ශාලා හිමියන් ප්‍රසංගයට ශාලාව පවා ලබාදීමට මැලිවී ඇත. ඒ පාලනය කළ නොහැකි තරමට පැමිණෙන රසික පිරිස නිසා ශාලාවට අලාභහානි සිදුවන බැවිනි.
එකල සෑම සති අන්තයකම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල "ස" ප්‍රසංගය ශ්‍රී ලංකාවේ කොතැනක හෝ නගරයකදී රස විඳින්නට රසිකයනට අවස්‌ථාව ලැබිණි.
ගත වූ වසර තිස් නවය පුරා "ස" ප්‍රසංගය ඔස්‌සේ රසික මනස පෝෂණය කරන්නට, යහපත් සාමාජයක් ගොඩනගන්නට වික්‌ටර් රත්නායකයෝ කටයුතු කළහ. මේ කාලය තුළ හමා ආ කිසිදු රැල්ලක් හමුවේ නොසැලී සිටි හේ නව පරපුරට ආදර්ශමත් චරිතයක් ද විය.
"ස" සජීව ජීවමාන ජනප්‍රවාදයක් බවට ඇතමුන් හඳුන්වති. මේ ජනප්‍රවාදය තුළ "ස" ප්‍රසංගය මෙන්ම වික්‌ටර් රත්නායක ද ජනප්‍රවාද බවට පත් වූ බවත් ඔවුහු පවසති.
වික්‌ටර් ප්‍රතිභාපූර්ණ, සම්මානනීය සංගීතඥයෙකි. වෙනත් ශිල්පීන් වෙනුවෙන් ඔහු විසින් සංගීතය නිර්මාණය කළ අතිශය ජනප්‍රියවූ ගීත සංඛ්‍යාව ද විශාලය.
කුමරියක පා සළඹ සැලුනා.....
වසා සිටි නෙතු පියන් ඇරුනා........
කුමර බඹසර අසපුවේ මා
සමවැදී උන් දැහැන් බිඳුණා..........
පණ්‌ඩිත් අමරදේවයන් එම ගීයට පමණක් නොව බමරිඳු, බඹරිඳු, බඹර පැටික්‌කි, මිහිලිය නළලේ යන ගීතවලටද තනු සහ සංගීතය නිර්මාණය කළේය.
දෙනෝදාහක් නුවන් අතරේ
කවුරුදෝ මා ..... තනි කළේ..........
පාසල් බිමේ..........
විශාරද නන්දා මාලිනිය ගයන ඒ ගීය පමණක් නොව මට මව් පදවිය, රුවන් මුවා පොළෝ තලේ.... ඇතුළු ගීත රැසක්‌ද, සුනිල් එදිරිසිංහයන්ට සඳකඩ පහනක, වෙරළු ගෙඩිය, බානෙන් බැඳ, සිනාසෙනු මැන, කුඩා ගමේ මද්දහනේ, හිසේ ගිනි ඇවිලෙතේ, සොයා පිළිසරණක් ආදී ගීත ද එච්. ආර්. ජෝතිපාලයන්ට - රාජකිරුළු පළන්දාපු රඡ්ජුරුවෝ, සිහින විලේ නිලුපුල් (ලතා වල්පොල - ජෝතිපාල ගැයූ ප්‍රථම යුග ගීය), අබේවර්ධන බාලසූරියට - පියාණෙනි මා දිනක මතුදා, අනුරාධපුරය ඔබයි, සිහිවටනය සේ, ඉසුරු දෙවිඳු, ඔබෙන් තොර ලෝකයක් ඇතුළු ගීතනු 80 ක් පමණ ද, නිරංජලා සරෝජිනීට - අනුරාධපුරේ අනුරාධ නැඟූ, දියපිට ඇන්දා ආදර සිතුවම්, ඔබත් මාත් අතරේ, ලොව නිසසල වී ඇතුළු ගීතනු හැත්තෑ පහක් පමණ ද වික්‌ටර් රත්නායකයන් නිර්මාණය කර ඇත.
දෙඅදර විලිකුන් සුරත්පළේ
පෙම් මදිරා අයෑදිමින් සැලේ
සීත මිදුම් සිහින වැල් පැටලේ.........
මිල්ටන් මල්ලවාරච්චිට එම ගීය ඇතුළු ගීත රැසක් ද, නීලා වික්‍රමසිංහට - ඉඟිබිඟි කරනා, සූසැට බරණින් ඇතුළු ගීත රැසක්‌ද, ප්‍රෙඩී සිල්වාට - කුණ්‌ඩුමනී, පාන් කිරිත්තා, හඳ මාමා උඩින්යතේ ආදී ගීත කිහිපයක් ද තනු රචනා කළ වික්‌ටර් රත්නායකයන් නිර්මලා රණතුංග, බන්දුල විඡේවීර, එඩ්වඩ් ජයකොඩි, රෝහණ වීරසිංහ, µsලික්‌ස් ඇන්ටන්, සිසිර සේනාරත්න, ශ්‍රීමතී තිලකරත්න, සමිතා මුදුන්කොටුව, වින්සන්ට් ප්‍රේමසිරි, ඡේ. ඒ. මිල්ටන් පෙරේරා, රෝහණ බෝගොඩ, සෝමතිලක ජයමහ, ලතා වල්පොල, ඒ. එස්. බී. රාණි පෙරේරාට පමණක් නොව රුක්‌මණී දේවියට පවා ගී තනු රචනා කර දී ඇත.
සුභාවිත ගීයත් ඒ හා බැඳී ඇති සංස්‌කෘතියත් අගාධයට ඇද වැටී ඇති කලෙක ඇසෙන "ස" වැනි සුගායනිය ගීත ප්‍රසංග සමාප්ත කිරීම කණාගාටුවට කරුණකි. වික්‌ටර් නවකයන්ට අභ්‍යාසයකි. ඔහු වසර තිස් නවයක් තිස්‌සේ "ස" ප්‍රසංගයට ගී ගැයුවේ සජීවිවය. කිසිදු අවස්‌ථාවක පටිගත කළ ගීයක් පසු බිමින් වැයෙද්දී ප්‍රේක්‍ෂකයා හමුවේ කටහඬ සොලවමින් රඟපෑම් කරන්නට ඔහු කිසිදා කටයුතු කළේ නැත.
ජන, ජනප්‍රිය මෙන්ම සම්භාව්‍ය යන අංග තුනම විශ්මයජනක ලෙස ස්‌පර්ශ කරන වික්‌ටර් රත්නායකයෝ ගීයක් ගයද්දී වචන හසුරුවන අයුරු, ඒ වචනවල සංවේදී බව ඉස්‌මතු කරමින් ශ්‍රාවකයා කම්පනයට පත් කිරීම අතිශය පුදුමාකාරය.
වික්‌ටර් රත්නායකයන් සංගීත ක්‍ෂේත්‍රයට පිවිසියේ වයලින වාදකයෙක් ලෙසය. වයලිනය මිනිස් කටහඬට ඉතා සමීප සංගීත භාණ්‌ඩයකි. ඉන් ලද හික්‌මීම වික්‌ටර්ගේ ගායන දිවියට පිටිවහලක් වන්නට ඇත. වයලිනය වැයූ වික්‌ටර් ගායකයකු වෙද්දී ඉතා නිවැරැදි ලෙස ස්‌වර ස්‌ථානයන්හි පිහිටා ගී ගැයීමට නිසඟ හැකියාවක් ලැබුවේය. ඔහුගේ ගී ඔස්‌සේ කිසිදු අවස්‌ථාවක අපස්‌වරයන් නොගැයෙන්නේ එබැවිනි. වයලිනය ඇසුරින් ගායනයට ආ අමරසිරි පීරිස්, මර්වින් පෙරේරා, ටී. එම්. ජයරත්න, ඩී. ඩී. ගුණසේන, නිමල් ගුණසේකර වැන්නවුන්ද ඊට කදිම නිදසුන්ය.
සමාප්තිය සිදුවන්නේ "ස" ප්‍රසංගයේ මිස වික්‌ටර් රත්නායකයන්ගේ ගායනය නොවේ. එහෙත් "ස" වැනි ප්‍රසංගයක් අනාගත පරපුරට කිසිදු අවස්‌ථාවක දැක බලා ගැනීමේ වාසනා මහිමය නොලැබීම කණගාටුවකි. එහෙත් වික්‌ටර් රත්නායකයන් පවසන්නේ තමන් "ස" ප්‍රසංගයට ගෞරවාන්විත ලෙස සමුදිය යුතු කාලය එළැඹ ඇති බවය. වික්‌ටර් රත්නායකයන්ට ගෞරවයක් ලෙස තබන මේ සටහන අවසන් කිරීමට මත්තෙන්, ඔහුගේ අදහස්‌වලට ද ඉඩදීමෙහිද වටිනාකමක් ඇති බව සිතමි.
"ස" ප්‍රසංගය නියම කලට, ජාතියේ අවශ්‍යතාව මත ඇරඹුණා. එහි ඔටුන්න මට විතරක් නොවේ. ශිල්පියෙක් දැන ගත යුතුයි තමන්ගේ කුසලතාව ගැන. තම ශිල්ප උපක්‍රම රසිකයා වෙත ගෙන යා හැකි ශක්‌තිය කවදාද අහිමි වන්නේ කියන කරුණත් ශිල්පියා දැනගත යුතුයි. ඕනෑම ශිල්පියකුට ඒ බව ඉඟියෙන් දැනෙනවා. එවිට තේරුම් යනවා දැන් සිංදු විස්‌සක් විසිපහක් එක දිගට ගයන්න අමාරුයි කියලා.
මේක ඕනෑම කෙනකුට පොදුයි. ක්‍රීඩකයන් පවා සමුගන්නවා. ඒත් රසිකයන්ට හිතෙන්න පුළුවන් මට තවම ගායනා කරන්න පුළුවන් කියලා. ඒත් ගීත නිර්මාණය හැදූ, ඒවා ගයන මට දැනෙනවා. දැන් ගායනා කරන්න බැරි බව. ඉතින් ඒ බව දැනෙද්දී ආරම්භයේදී වගේම අවසානයේදීත් ප්‍රසිද්ධියට පත් කළ යුතුයි. ගෞරවය රැකෙන්නේ එවිටයි. අතීතයේදී කළ නිර්මාණවලට අගෞරවය නොකරන්න ශිල්පියා දැනගත යුතුයි. ඒ නිසා වචන පටලවමින් ගී ගැයිය යුතු නැහැ. සියලු සංස්‌කාර ධර්මයෝ අනිත්‍යයයි. කලාවටත් ගීතයටත් මේක පොදුයි. මට දැන් ගී ගයන්න බැරිවී ගෙන යනවා. ඒ නිසා තවත් අලුත් ගීත ගැයිය යුතුය තව තව ප්‍රසංග කළ යුතුයි කියා නොසිතා ශිල්පයේ සහ ප්‍රසංගයේ ගෞරවය රැකගෙන එය නතර කළ යුතුයි. මම "ස" ප්‍රසංග වාර එක්‌දහස් හාරසිය පනහක් කළා ප්‍රසංගය ආරම්භ කළ ශිල්පියාම එය අවසානය කරා රැගෙන ආවා.
වික්‌ටර් රත්නායක සරල වින්දනය තුළින් ශාස්‌ත්‍රීය රුචිය වර්ධනය සඳහා ශ්‍රාවකයා ඥනනය කළ සංගීත ශිල්පියෙකි. එහෙත් ඔහු පිළිබඳ නිවැරැදි තක්‌සේරුවක් මෙතෙක් සිදු නොවීම අතිශය කණගාටුවකි. අපේ රටේ සංස්‌කෘතික අමාත්‍යාංශයක් ඇත. සංගීතය සඳහාම වෙන්වූ අනුමණ්‌ඩලයක්‌ද ඇත. එහෙත් වසර තිස් නවයක්, ප්‍රසංග වාර එක්‌දහස් හාරසිය පනහක් සජීවීව ඉදිරිපත් කළ ශිල්පියෙක් ශ්‍රී ලංකාවේ සිටින බවවත් මේ ආයතන නොදන්නේද? මෙතරම් සේවාවක් කළ ශිල්පියෙක් ලෙස වික්‌ටර් රත්නායකයන් ඇගයීමට ලක් කළ අවස්‌ථාවක් මේ දක්‌වා අප අසා නැත. දැකද නැත. එහෙත් රසික ප්‍රසාදය අදත් ඔහුට ඇත. "ස" සමාප්තිය සිදුවන්නේ රසිකයන් එය ප්‍රතික්‍ෂේප කරන නිසා නොවේ. රසික ඉල්ලුම තව තවත් වැඩිවෙද්දීය. වික්‌ටර් රත්නායකයන් "ස" සමගින් සමුගන්නේ සමු ගැනීම ජීවිතයේ ස්‌වභාවයය නිසාවෙනි. එය ලෝක ධර්මතාවකි. ඊට අපි මුහුණ දිය යුතුය.
- අජිත් අලහකෝන්
(උපුටා ගැනීම: දිවයින පුවත්පත - 2012.07.13)
--- -- --- -- --- -- --- -- --- -- --- -- --- -- --- --
වික්ටර් රත්නායකයන් වෙනුවෙන් ඔහුගේ කුමන ගීතය ඉදිරිපත් කරනෙමුද? ආදරෙයේ උල්පත වූ අම්මා, අපි ඈතට ඈතට, කුරුල්ලන්ට ගී ගයන්න, අහිමි උනත්, තොටුපල අයිනේ, රූකඩ මඩු යාග පොලේ, දෛවයෝගයකින්, කොහේ සිට ඔබ, සසර සැරිසරන තෙක් ඔබ මගේ, පෙම්බර මධු මගේ, ගිගිරි ගීත රාවේ, මල් පොකුරු පොකුරු, මියුරු කල්පනා, සඳකැන් වැසිලා, සඟවා ගනු මැන, එපා හිරු පායන්න, තනි තරුවේ.. යනාදී වශයෙන් මියුරු ගී රැසක් එකවරම අප මතකයට නැඟේ. එහෙත් අද අපි ඔබට ගෙන එන්නේ දෙල්තොට චන්ද්‍රපාලයන් විසින් රචිත, විශිෂ්ට සංගීතඥ ස්ටැන්ලි පීරිස් මහතා අතින් සංගීතවත් වූ මේ සොඳුරු ගීයයි.
එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ
මතකද ඔබ මා පියවර මැන්නා
පිනිමල් වරුසාවේ...
කිසිවකු සමඟින් එකට තුරුළු වී
ඉර බැස යන වේලේ
ඔබ යනු දුටුවිට මතකය රිදවයි
අපෙ ඉස්සර කාලේ..
මඳ අව් රස්නෙට වුව සෙවණක් නැත
ඔබහට අද දවසේ
වැස්සට අව්වට තනිව මුහුන දෙමි .
මගේ මහිම එලෙසේ..
පද: දෙල්තොට චන්ද්‍රපාල
තනු: ස්ටැන්ලි පීරිස්
හඬ: වික්ටර් රත්නායක
Video: http://www.youtube.com/watch?v=93M0qQPxWAI
Audio: http://www.mediafire.com/?gnkb64xcfgnhxj6
(මෙම ගීතය පිළිබඳව හෝ වික්ටර් රත්නායකයන් පිළිබඳව ඔබ දන්නා දේ සහ ඔබට හැඟෙන දේ අප සමඟ බෙදාගන්න.)
ඇසුව පමණින් ආදර විරහව ගැන කියවෙන ගීතයක් වුනත් මේක එහෙම එකක් නෙවේ.....අනූව දශකය මුල් භාගයේ මුලින්ම ඇසුණු මේ ගීතය යට සැඟවිලා තියෙන්නේ ඛේදාන්තයක්දවසක් නීතිඥ කාර්යාලයකට ගොඩවදින්නේ තරුණ අයිය කෙනෙක් සහ ඔහුගේ නැගණිය....මේ දෙන්න සල්ලි බාගේ තියෙන අය නෙවේ...දුප්පත් මිනිස්සු....මේ අහිංසක නංගිව සල්ලිකාර වගේම සෙල්ලක්කාර තරුණයෙකුගේ බහට රැවටිලා ඔහු අතින් කෙළෙසිලා....දැන් ඔහුවහොයාගන්නවත් තැනක් නෑ....තමන්ගේ අහිංසක නංගිව අනාථ වෙන්න නොදී කොහොමහරි වැරදිකාර තරුණයට එරෙහිව නීතියේ පිහිට පතන්නටයි මේ දෙන්නා ඇවිල්ල තියෙන්නේ...
ඒත් ඒ සල්ලාලය බොහොම බලපුළුවන්කාරකම් තියෙන කෙනෙක්....මේ නංගිව විත්ති කුඩුවේ නග්ගලා ලෝකෙටම ඇහෙන්න දුක කියල පිහිටක් ගන්න මේ අයියට ඕන උනත් මේ සල්ලිකාරයෝ එක්ක හැප්පෙන්න මේ අයට සල්ලි වත් බලයවත් නෑ කියලා මේ තරුණ නීතිඥයාට වැටහෙනවා.....මේ කරන්න යන වැඩේ නිෂ්පලයි කියලා ඔහුට කල තියාම තේරෙනවා....
ඒ නිසා මම මේ නංගිගේ මේ අයියා වුනානම් මම නංගිට මේ යතාර්ථය තේරුම කරල දෙන්නෙ මෙහෙමයි කියන එකයි මේ ගීතයෙන් කියවෙන්නේ....(ගීතය ලියපු මේ නිතිඥවරයාගේ නම මට මතක නෑ...ඒ ගැන කණගාටුයි)
ගීතය ඇහුවම වෙලාවකට අපි ගැනම ලැජ්ජාවක් එනවා...
විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරි...ඒ පෙති එක්කර මලක් සොයන බොලදී.....
අහිංසක බොළඳ නැගණිය.....කෙලෙසුණු ඇගේ ජීවිතය නැවත නිකැළැල් කරන්නට නිෂ්පල උත්සාහයක යෙදෙයි.....
වෙරළ සොයා රළ පෙළ දිව ආවත් වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ...
සල්ලිකාර පිරිමි අහිංසක දුප්පත් ගෑණු ළමයින්ගේ පහස අරගන්න විතරක් ඔවුන් වෙත ඇවිල්ල යනවා....එයින් පසු ඒ අයව කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ.....ඔවුන් අසරණ වෙලා තනි වෙනවා....
බඳට පියාපත් යුවලක් ලැබුනත් අහස දෙකෙළවර නුඹට දිනනු හැකිදෝ...
ඉහළින් වැජඹෙන සල්ලිකාර සමාජයේ ඒ අය අතරමං වෙනවා...
බඹරුන් පසුපස මල් දිව නොගියත් අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ.....
බොහෝවිට කාන්තාව පසුපස පිරිමින් යයි....එය සාධාරණීකරණය කිරීමට ඇගේ එක බැල්මක් වුවද ප්‍රමාණවත් ය....අවසානයේ හංවඩු ගැසෙන්නේ ඇය සංකර ගැහැණියක කියා ය....පිරිමියා සමාජය විසින් නිදොස් කොට නිදහස් කෙරේ....
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින් නුඹේ සුසුම් ගිණි බොල් අහසම නොවෙදෝ....
තිත්ත ඇත්ත මෙයයි.....මේ යතාර්ථය තේරුම් ගෙන කරබාගෙන සිටිනවා මිසක හැමදාම ඒ ගැන හිතමින් හිතින් සෝ සුසුම් බොල් අහසට මුසු කිරීමෙන් පලක් නැත......
සරදම් නොකරමි ...ආදරයෙන් කියමී.....විසිරුණු පෙති යළි මලක් නොවේ නැගණි.....
(උපුටාගැනීම elakiri.com හි kaushala1988 ගෙනි.)
----------------------------------------------
අප දන්නා පරිදි බන්දුල නානායක්කාරවසම් යනු වෘත්තියෙන් නීතිඥයකු නොව බැංකු නිලධාරියෙකි. එබැවින් ඉහත විචාරය 100% නිවැරදි නොවන බව අපගේ අදහසයි. එහෙත් අප එය ඉදිරිපත් කළේ එය රසවත්ව ලියා ඇති බැව් හැඟුණු බැවිනි. (රූපයේ ඇති පදවල ඇති යම් යම් දෝෂ පිලිබඳව අපගේ කණගාටුව)
විසිරුණු මල්පෙති දෝතට ගත් තුනුවී
ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යලි මලක් නොවෙයි නැගණී..
වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවලක් ලැබුනත්
අහස දෙකෙලවර නුඹට දිනනු හැකිදෝ..
බමරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ..
පද: බන්දුල නානායක්කාරවසම්
තනු: රෝහණ වීරසිංහ
හඬ: අතුල අධිකාරි
Video: http://www.youtube.com/watch?v=0flkUaD_YFo
Audio: http://www.mediafire.com/?dfvvkrclo5oxna6
(මෙම ගීතය පිළිබඳව ඔබ දන්නා දේ සහ ඔබට හැඟෙන දේ අප සමඟ බෙදාගන්න.)