Sunday 29 July 2012

සැරයටියෙන් අපි යනෙන තුරා - විජය කුමාරතුංග, චන්ද්‍රලේඛා පෙරේරා

මේගීතය අහලා නැති රසිකයෙක් නැති තරම්. විජය කුමාරතුංග හා චන්ද්‍රලේඛා පෙරේරා ගයන මේ ගීතයට මියුරු තනුවක් යොදා එය සංගීතවත් කළේ සරත් දසනායක. ඒත් ගීතය ලිව්වෙ කවුද? මේ ගීතය විතරක් නෙමෙයි ලංකාවේ ජනපි‍්‍රය ම ගීත රැසකම නිර්මාතෘවරයා ඔහු බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

‘පාටපොදක් තිලක ලා’ (එච්.ආර්. ජෝතිපාල හා ඇන්ජලින් ගුණතිලක), ‘නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවේ’ (මිල්ටන් මල්ලවආරච්චි), ‘අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා’ (ලතා වල්පොල), ‘කැන්දන් යන්නම් මල්මල් මාලා දාලා’ (පි‍්‍රයා සූරියසේන, ග්‍රේෂන් ආනන්ද සහ පිරිස) වැනි ගීත පවා ලියු මේ රචකයා කවුද? ඔහු සෝමපාල ලීලානන්ද.

සෝමපාලට කලා ලෝකයේ තියෙන්නේ දිගු ඉතිහාසයක්. මුලින්ම ඔහු පුවත්පත් කලාවේදියෙක්. ‘දවස’ පුවත්පත් ආයතනයෙන් තම වෘත්තීය පුවත්පත් කලා ජීවිතය ඇරඹු සෝමේ ‘ලස්සන’ යන නමින් එවක පළවූ පුවත්පතේ උප කතුවරයකු ලෙස සේවය කළා.

සෝමපාල ලියපු මුල්ම ගීතය රසිකයන්ට අහන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ගීතය පටිගත වුණත් එය චිත්‍රපටයට ඇතුළත්ව තිබුණේ නැහැ. චිත්‍රපටයත් එසේ මෙසේ එකක් නෙමෙයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටයක්. ඒ ‘අක්කර පහ’. "ඒත් චිත්‍රපටය තිරගත වෙද්දි ඒ ගීතය චිත්‍රපටයේ තිබුණේ නැහැ. මං දන්නේ නැහැ මේ කතාවේ ඇත්ත නැත්ත. ‘අක්කර පහ’ නවකතාව ලියූ මඩවල එස්. රත්නායක මේ චිත්‍රපටයට සින්දුවක් දානවට කැමැති වෙලා නැතිලු. ඒකයි සින්දුව ඉවත් කිරීමට හේතුව.”

සරත් දසනායක චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු බවට පත්කිරීමේ ගෞරවය හිමිවන්නේ සෝමපාලටය. ඒ ‘විශ්මය’ චිත්‍රපටයෙනි. නාමාවලියේ නම සඳහන් නොවුවද එම චිත්‍රපටයේ තිරනාටකය සෝමෙගේය. ඔහු මේ චිත්‍රපටයට ගීතයක් ද ලීවේය. ගායනා කළේ ආචාර්ය අමරදේවයන්ය. ‘විශ්මය’ චිත්‍රපටය තිරගත වීම ප්‍රමාද විණි. සරත් දසනායක හා සෝමපාල ඉන්පසු එක්වූ ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටය ඊට පෙර ප්‍රදර්ශනයට ආවේය. ඇත්තටම සරත් දසනායක චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස වඩාත් ප්‍රසිද්ධ වුණේ ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටයෙනි. ඊට ගීත ලිව්වේ කරුණාරත්න අබේසේකර හා සෝමපාල ලීලානන්දය. “කරු අයියා ලිව්වෙ ‘අමර පෙම් ලතාවේ’ සින්දුව. ඉතිරි සින්දු ටික මම ලිව්වා. ඒ ‘දෑසේ මාගේ සැතපෙනා’, ‘වාසනාව දොර ඇරලා බලනවා’, ‘පෙම් රස වෑහෙන මංගල ගීතේ’.

සේන සමරසිංහ, සරත් දසනායක, සෝමපාල ලීලානන්ද ත්‍රිමූර්තියෙන් චිත්‍රපට ගණනාවක් තැනිණි. ‘සදහටම ඔබ මගේ‘, ‘කස්තුරි සුවඳ’, ‘නිල්ල සොයා’, ‘ආශා දෑසින්’, ‘මල් කැකුළු’, ‘ඈතින් ඈතට’ වැනි චිත්‍රපට ඊට උදාහරණය. ‘කස්තුරි සුවඳ’ චිත්‍රපටයේ සියලු ගීත රචනා සෝමේගේය. ‘පාට පොඳක් තිලක ලා’, ‘මල් වයසේ මධු සිහිනේ’, ‘හද විමන් දොරින්’, ‘ලස්සන ලෝකෙක ඉපදිලා’ එම ගීතය. මේ චිත්‍රපටයේ කතාව, දෙබස් හා තිරනාටකය ද සෝමේ ගේ වීම විශේෂත්වයකි.
“යෞවන උයනේ පියුම් තටාකේ” (නිල්ල සොයා) ‘බඹරා වගේ ඇත තවම විසේ’ (චණ්ඩි පුතා) ‘කඳුළැලි නෑනේ අප රැහේ’ (මිහිදුම් සිහින) ‘නෙළූ මලෙකිය’ (අහිංසා) සරත් දසනායක සෝමපාල ලීලානන්ද නිර්මාණාත්මක එකතු වෙන් බිහිවූ තවත් මධුරතර ගී කීපයකි.

සරත් දසනායකගේ සංගීතයෙන් පරිබාහිරව සෝමේ ලියූ ගීතයක් අතිශය ජනප්‍රිය විය. ඒ ‘රජ දරුවෝ’ චිත්‍රපටයට ලියූ ග්‍රේෂන් ආනන්ද ගයන ‘බිළිඳුගේ දරුවනේ මගේ’ ගීතයයි. ඊට තනු යොදා සංගීතවත් කළේ සෝමපාල රත්නායකයි. සෝමපාල එක් ගීතයක් හැර අන් සියලු ගී ලීවේ පූර්ව නිර්මිත තනුවලට වීම සුවිශේෂත්වයකි. සෝමේ පූර්ව නිර්මිත තනුවකට නො ලියූ එකම ගීතය ‘සැරයටියෙන් අපි යනෙන තුරායි.’

"මේක මගේ දින පොතේ නොදැනුවත්වම ලියැවුණු කවියක්. දවසක් දසේ ඔය කවිය දැක්කා. ඒකට තමයි තනුවක් දාලා සින්දුවක් විදියට නිර්මාණය කළේ. අපේ ගමේ හිටියා පොල් කඩන මිනිහෙක්. එයාගේ ඇස් පේන්නෙ නැහැ. කෝටුවක් අරගෙන තමයි ඇවිදින්නෙ. එයාගේ ගෑනු මනුස්සයාත් එයත් එක්කමයි හිටියේ. ඒක තමයි මේ සින්දුව ලියන්න නිමිත්ත කරගත්තේ."

සින්දුවේ එක තැනක තියෙනවා.

කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්
පතමුව සසරින් නික්මෙනදා

“මේ වචන ටික මගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධයි. එයින් කියැවෙන්නේ සංසාරේ එකට ඉන්න ඇය ඔහුගේ ප්‍රථම ප්‍රේමය නොවන බවයි. එතකොට ඇය කියනවා

සංසිඳුවා සිත පහන් කරන්නෙමි
මේ පෙම කුලුඳුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා

ඉතින් සංසාරෙන් සමුගන්නා දා ඒ ගමනත් ඔහු යන්නේ ඇයත් සමඟයි.

(සිළුමිණ පුවත්පතෙහි පළවූ ලිපියක් ඇසුරෙනි)

---- -- --- -- ---- -- --- -- ---- -- --- -- ---- -- --- --

සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සැරයටියෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු..

ජීවන මං පෙත මලින් සැදී ගීය
යුගයක නොව ඔබ හමු වූයේ
කටු කොහොලින් පිරි කලල් දියේ මා
තනිවම එද්දිය හමුවූයේ..

මින් මතු මංපෙත මලින් සදන්නෙමි
ළතැවුල් සෝ ගී නෑසෙන සේ
පමනක් නොව මේ සංසාරේ
උපදින වුව මතු සංසාරේ..

මතු සංසාරේ මා හුරුබුහුටිව
පෙම් කරන කල එලඹෙනදා
කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්
පතනෙමි සසරින් නික්මෙනදා..

සංසිඳුවා සිත පහන් කරන්නෙමි
මේ පෙම කුලුඳුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා..

පද: සෝමපාල ලීලානන්ද.
තනු: සරත් දසනායක
හඬ: විජය කුමාරතුංග, චන්ද්‍රලේඛා පෙරේරා

Video: http://www.youtube.com/watch?v=MtWT2YLehkU&feature=related
Audio: http://www.mediafire.com/?4gdpjddiyyp4kac

(මෙම ගීතය පිළිබඳව ඔබ දන්නා දේ සහ ඔබට හැඟෙන දේ අප සමඟ බෙදාගන්න.)

No comments:

Post a Comment

මේ ගීතය ගැන ඔබ දන්නා දේ සහ ඔබගේ අනෙකුත් අදහස් අප සමඟ බෙදාගන්නා වූ ඔබට බොහෝම ස්තූතියි.