Sunday 29 July 2012

පොත් හතක් අටක් (මී පුර වැසියෝ) - සුමින්ද සිරිසේන

ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේනයන් වෙනුවෙන් දිවයින පුවත්පතේ පළ කෙරුණු ලිපියකි පහත දැක්වෙන්නේ. 

"මේ සියල්ල සිදුවීමෙන් ඉක්‌බිතිව දැන් අවුරුදු ගණනාවක්‌ ගතවී ගොස්‌ ඇත. මුළු කෝකිලානම දැන් එකම පාළුපෙතකි. සියලු වස්‌තූන් කෙරෙහි මා තුළ තිබූ ආසාවන් පුදුම අන්දමින් ප්‍රහීණ වී ඇත. ලෞකික ජීවිතයේ මගේ කටයුතු සියල්ල කර අවසාන යෑයි දැන් මට සිතේ. උදේ නැගිට දත කට මැදගන්නා මට ලලිතාගේ ගෙදරින් පාතරාසය ලැබෙයි. දහවල් වන විට රංජිත් බත් පිඟානක්‌ එවයි. සවස බත ලැබෙන්නේ සනාගේ ගෙදරිනි. ඉඳහිට වෙනත් ගෙවලින් විශේෂ කැවිලි හෝ පලතුරු ගැමියෝ මට ගෙන එති. මාගේ හිත තුළ පෙරට වැඩි තැන්පත් බවක්‌ ඇති බව මටම දැනේ. සමහර මිනිස්‌සු මට කෝකිලානේ ඉසිවරයායි කියති."

චරිත තුනක්‌ ටෙලිවෘත්තාන්තය අවසන් වනුයේ ඉසාගේ ඉහත සඳහන් ආත්ම කථනයෙනි "ඉසා" "සනා" "රංජිත්" යන චරිත තුන මාර්ගයෙන් මනුෂ්‍යත්වය පිළිබඳ ධර්මතා තුනක්‌ ප්‍රකට කරන්නයි නවකතාව රචනය කිරීමේදී කේ. ජයතිලකයන් උත්සාහ කළේ. පොදු මනුෂ්‍යත්වය සංකේතවත් කරන ගමන් ඒ යටතේ විවිධාකාර චරිත ලක්‍ෂණ වර්ධනය වන ආකාරය විදහා දැක්‌වීමට ද ජයතිලකයන් උත්සාහ ගෙන තිබිණි. නවකතා රචකයාට හානියක්‌ නොවන අන්දමින් සෝමවීර සේනානායක විසින් තිරනාටකය රචනය කළා. මගේ ලොකු විශ්වාසයක්‌ තිබුණ සුමින්ද සිරිසේන "ඉසා"ගේ භූමිකාවට සුදුසුම නළුවා ලෙසට. සුමින්ද එම කාරිය මැනවින් ඉටුකළ අතර ප්‍රේක්‍ෂක, විචාරක පැසසුමට ද ලක්‌විය.

කරළියේ පෙරළිකාරයන්ගේ උපත බොහෝ විට සිදුවන්නේ පාසල් වේදිකා තුළින්. මෙහිදී පාසල් නාට්‍ය නිර්මාණය කරන ගුරුවරුන්ගෙන් පාසල් සිසුන් ලබන පන්නරය අගය කළ යුතුය. 1948 දී කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ මාබෝපිටිය බොස්‌සැල්ල ගම්මානයේ උපන් සුමින්ද සිරිසේන ද තම රංගන කලාවේ අත්පොත් තැබුවේ ඔහු අකුරු කළ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයෙනි. එකල එහි ආචාර්යවරුන් වශයෙන් සේවය කළ දැනට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් වශයෙන් සේවය කොට විශ්‍රාම සුවයේ පසුවන ආරියවංශ රණවීර සහ ජයසුමන දිසානායක සමග සංගීත විෂයභාර ආචාර්ය සංගීත විශාරද දයා අල්විස්‌ තරුණ සුමින්දගේ හැකියාවන් උරගා බැලීමට සමත් විය. ආරියවංශ රණවීර රචනා කළ "ගිරිකූඨ" නාට්‍යයේ කාශ්‍යපගේ චරිතයට පණ පෙව්වේ 1967 වසරේයි. පාසලේ විද්‍යා විෂයයන් හැදෑරුවද ගායනයට හා රංගනයට සුමින්දගේ ඇති හැකියාව නිෂ්පාදක වශයෙන් කටයුතු කළ දයා අල්විස්‌ට තේරුම් ගියේ පුහුණුවීම් අතරතුරය. 1968 දී ඇල්බෙයා කැමූගේ Cරදිsමරචදචැs ඇසුරෙන් ජයසුමන දිසානායක රචනය කළ "සාක්‌කි කරුවෝ" ඛේදාන්ත නාට්‍යයද ජයසුමන සහ දයා අල්විස්‌ එක්‌ව නිෂ්පාදනය කළ අතර, සුමින්ද රංගනයෙන් දායක විය. තමන්ගේ ඇති තැන්පත්කම මෙන්ම ගුරුවරුන්ට කීකරුව කටයුතු කළ සුමින්ද රංගනය සඳහා ප්‍රාදේශීය වශයෙන් සම්මානයන්ගෙන් පුද ලැබීමට සමත් විය. සුමින්ද අගනුවරට පැමිණෙන්නේ ඉන් පසුවය. 1970 දී ලයනල් වෙන්ඩ්ට්‌ කලාකේන්ද්‍ර රංග ශිල්ප ශාලිකාවට පැමිණ ධම්ම ජාගොඩ යටතේ වසර තුනක පමණ කාලයක්‌ රංගනය පිළිබඳව පුහුණුව ලබමින් ධම්ම ජාගොඩ නිෂ්පාදනය කළ "මූදු පුත්තු" රවුන් වේදිකාවට (එරීනා තියටර්" නාට්‍යයේ දියෝනිස්‌ගේ භූමිකාව නිරූපණය කළේය. ඉන්පසුව සුමින්ද ක්‍රමක්‍රමයෙන් එකල සිටි ප්‍රකට නාට්‍ය නිෂ්පාදකවරුන්ගේ නිෂ්පාදනයන්ට රංගනයෙන් දායක විය.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මහාසාර, කදාවළලු, මනමේ, භව කඩතුරාව, නාමෙල් වීරමුනිගේ වංසක්‌කාරයෝ, රංජිත් ධර්මකීර්තිගේ හස්‌තිරාජ මහත්තයා, හිරු නැති ලොව, ආඬිරැළේ නාඩගම, මේඝ, ධම්ම ජාගොඩගේ වෙස්‌ මුහුණු, සමන් සුසිරිගේ තක්‌සලා නාඩගම, µSලික්‌ස්‌ ප්‍රේමවර්ධනගේ අන්ධකාරය, තිලක්‌ ගුණවර්ධනගේ කොන්තනෝනා, සමුගැනීම, සෝමපාල ගුණධීරගේ උමතුසංවරුවා, ප්‍රේමලාල් ගංගේගේ නාඩගම්කාරයෝ, දයානන්ද ගුණවර්ධනගේ ආනන්ද ජවනිකා, ජයලත් මනෝරත්නගේ අන්දරේලා, පරාක්‍රම නිරිඇල්ලගේ විනිශ්චය, මියුරි සමරසිංහගේ සපතේරු හාමිනේ, සුසිල් ගුණරත්නගේ මුහුණු දෙකක්‌, සෝමරත්න දිසානායකගේ මීපුර වැසියෝ, යන නාට්‍යවලට 1970 දශකය පුරා සුමින්ද, රංගන දායකත්වය ලබාදීමෙන් සිංහල නාට්‍ය වේදිකාවේ අතිදක්‍ෂ නළුවකු වශයෙන් තහවුරු විය.

1980 දශකයෙහි ශ්‍රී ලංකාවට රූපවාහිනිය සපැමිණීමත් සමග සුමින්දගේ රංගන දායකත්වය ටෙලිනාට්‍ය සඳහා ලබාගැනීමට හැකිවිය. 1985 වසරේ මවිසින් අධ්‍යක්‍ෂණය කළ සිහින නිම්නය ටෙලි වෘතාන්තයේ රංජිත් සර්ගේ චරිතය සුමින්ද රූපවාහිනියට දායද කළ මුල්ම රංගනයයි. ඉන්පසුව ජයකොඩි සෙනෙවිරත්න රචනය කළ කුමාරිහාමි නාට්‍යයේ හිච්චි මහත්තයාගේ චරිතය තුළින් ප්‍රේ‍රaක්‌ෂකයා අතරට ගිය සුමින්ද ධම්ම ජාගොඩගේ අධ්‍යක්‍ෂණයෙන් සෝමවීර සේනානායක රචනය කළ මිහිකතගේ දරුවෝ නාට්‍යයේ මුතුගොඩ රාළහාමි ගේ චරිතයට පණපෙවූ ආකාරය අදටත් මතකයේ රැඳී පවතී. විනාඩි තුනක පමණ දර්ශන කාලයක්‌ වුවද අධ්‍යක්‍ෂවරයාගේ මනසෙහි රැඳුණ රූපය ඒ අයුරින්ම ප්‍රතිනිර්මාණය කිරීමට ඔහුට හැකිවූ බව ධම්ම ජාගොඩ පවසා තිබෙනවා. පටිගත කිරීම් අවසානයේ ඊට සභභාගි වූ සියලුම දෙනා සුමින්දගේ රංගනය අවසානයේ කඳුළු සලමින් සිටි බවද සඳහන් වෙනව. අසල්වැසියෝ ටෙලි වෘත්තාන්තය සුමින්ද රඟපෑ තවත් ජනප්‍රිය වූ ටෙලි නාට්‍යයකි. එම නාට්‍යයේ ජයමංගලගේ චරිත ප්‍රේක්‌ෂක අවධානයට යොමු විය.

තිර රචක සෝමවීර සේනානායක පවසන අන්දමට ජයමංගලගේ චරිතය ගොඩ නගා ඇත්තේ ගැඹුරින් රංගනයෙහි යෙදිය යුතු වන අයුරින් වුවත් සුමින්ද එයට ජීවය කැවූ අන්දමින් තරමක්‌ හාස්‍ය රසයක්‌ද ඉන් ජනිත වුණා. චරිතවල ඉඟිබිඟි මෙසේ වැඩි දියුණු කරගෙන රඟපෑම හැම නළුවකුටම කළ හැක්‌කක්‌ නොවේ. මේ තුළින් තිර රචනයද වඩාත් අර්ථවත් වෙනව. හර්බට්‌ රංජිත් පීරිස්‌ගේ හිරුට මුවාවෙන් විමලරත්න අධිකාරිගේ ඉසිවර අසපුව, ජීවිතය සුන්දරයි, වටමළුව - සියපත, දයාරත්න රටගෙදරගේ බෝගල සවුන්දිරිස්‌, සිත නිවන කතා, සුසිරන් ද සිල්වාගේ එකට ගැටුම, ඉසුරු යෝගය ටෙලි වෘත්තාන්තවල සුමින්දගේ රංගන ප්‍රතිභාව මැනවින් විද්‍යමාන වුණා. මොහාන්ජි රංගනාථගේ අසනිවැසි නාට්‍යයේ සියාතු ගුරුන්නාන්සේගේ චරිතය මෙන්ම යස ඉසුරු නාට්‍යයේ ධර්මරත්නගේ චරිතය ප්‍රේක්‍ෂක මතකයේ රැඳී පවතී. ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් මිදීම සඳහා කරන අරගලයේදී තවතවත් අර්බුදවලටම පැටලෙන ගබඩා පාලකවරයකු ලෙස වටමළු, නාට්‍යයේ සුමින්ද ඉදිරිපත් කරන්නේ අසාමාන්‍ය චරිතයකි. නාලන් මෙන්ඩිස්‌ අධ්‍යක්‍ෂණය කළ සඳලුතලය ටෙලි වෘත්තාන්තයේ බාසුරු නම් නාට්‍යකරුවාගේ චරිතයට පණදුන් ආකාරය සිත් ගන්නා සුලුයි. තමන්ද නාට්‍යකරුවකු බැවින් ඔහු ඒ සඳහා සිය ජීවන අත්දැකීම් ද උපයෝගී කරගන්නට ඇත. සුමින්දගේ ගායන හැකියාවන් ද එම චරිතය ඔපමට්‌ටම් කර ගැනීමට ඉවහල් වී ඇති බව ටෙලිනාට්‍ය නැරඹූ අපට පැහැදිලිවන කරුණකි.

සුමින්දගේ රංගන ජීවිතයේ දැඩි අභියෝගාත්මක චරිතයක්‌ ලෙස මා දකින්නේ මවිසින් නිර්මාණය කරන ලද "චරිත තුනක්‌" ටෙලිවෘතාන්තයේ "ඉසා" ගේ චරිතයයි. වයස අවුරුදු 35 සිට 70 පමණ දක්‌වා විකාශය වන කාල පරාසය තුළ වෙනස්‌ වෙමින් ගලන ජීවන ගංගාවක විවිධ හැඩතල මනාව ඉස්‌මතු කිරීමට සුමින්ද ගත් උත්සාහය සුළුපටු නොවේ. නිරතුරුවම එම චරිතය අධ්‍යයනය කරමින් කේ. ජයතිලක, සෝමවීර සේනානායක, පණ්‌ඩිත් අමරදේව සහ මා සමග සාකච්ඡා කරමින් ඉන් නොවැතී නළු නිළියන් සමගද සාකච්ඡා කරමින් කන්නිමහර ගමේ ජීවත්වෙමින් කළ කැපකිරීම සුළුපටු නොවේ. පටිගත කිරීමක්‌ අවසානයේ තම රංගනය පිළිබඳව තමන් කොතරම් සෑහීමකට පත්වුවද එය හරිද? හරියට ආවද? හොඳට කළාද? අඩුපාඩු තියෙනවද? යනුවෙන් අධ්‍යක්‍ෂවරයාගෙන් විමසීම මොහුගේ නිහතමානී ගති ලක්‍ෂණයකි. චරිතාංග නළුවන් අතරින් සුමින්ද මුල්තැනක සිටින බව දැක්‌වීමට ඉහත උදාහරණ ප්‍රමාණවත් යෑයි මම සිතමි. දුක, වේදනාව මෙන්ම සතුට, ප්‍රීතිය පමණක්‌ නොව ආදරය, දයාව, කරුණාව, උපේක්‍ෂාව යන විවිධ මනෝභාවයන් සිය රංගන කෞශල්‍යයට නතුකර ප්‍රතිනිර්මාණය කිරීමට සිය ආත්මය කොටගත් සුමින්ද වේදිකාවත් රූපවාහිනියත් ආක්‍රමණය කළ අභියෝගාත්මක නළුවකු ලෙස හැඳින්විය හැකිය.

ටෙලිවෘත්තාන්තවලට අමතරව සුමින්ද ඒකාංග නාට්‍යවලද රඟපා තිබෙනවා. මවිසින් අධ්‍යක්‍ෂණය කළ උඩුපිලයි යටිපිලයි, කඩතිර, කුහකයා, නදීතෙර, දෙමව්පියෝ, දරු සුරතල්, විමලරත්න අධිකාරිගේ පාරමීදම්, තිමිර රංජිත් පෙරේරාගේ එහාගෙදර, විජය ධර්මශ්‍රීගේ අපේ කාලේ ගැහැනියක්‌ යන නාට්‍ය ඉන් කිහිපයකි. ජනක සුරංජිත්ගේ ඇබෑර්තු ඇත. විජිත මංජුලගේ සල්මල් ලන්ද ටෙලිවෘත්තාන්තය මෑතකාලයේ රංගනයෙන් දායක වූ නාට්‍යවලින් කිහිපයකි. සිනමාව සඳහා සුමින්දගේ රංගනය මුලින් ම යොදා ගන්නේ විජය ධර්මශ්‍රීගේ "දුහුළු මලක්‌ "චිත්‍රපටය සඳහායි. ඉන්පසුව එච්. ඩී. ප්‍රේමරත්නගේ "සප්ත කන්‍යා" සඳහා දායක විය. රංගනයේදී සුමින්දගේ කැපී පෙනෙන විශේෂත්වය නම් ඔහු කිසිවිටෙකත් එකම ආකාරයේ චරිතවලට කොටුවී නොසිටීමයි. ඉතා කෙටිකාලයක්‌ තුළ ප්‍රතිභාපූර්ණ තත්ත්වයට පත්වීමේ වාසනාව සුමින්දට අත් පත්කර දුන්නේ එම සීමාසහිත බවින් අත්මිදීමට ඔහුට පුළුවන්වී තිබීම හේතුවෙනි. එපමණක්‌ නොව වේදිකාවෙන් රඟපෑම පිළිබඳ ඔහු ලත් පන්නරය ටෙලිනාට්‍ය රංගනය ඔපමට්‌ටම් කර ගැනීමට ඔහුට ඉවහල් වූ බව පෙනෙනවා. ටෙලි නාට්‍ය රංගන කලාවක්‌ උත්පාදනය කිරීමේලා පෙරමුණ ගෙන ඇත්තේ ඔහුටත් නොදැනුවත්වමයි.

සුමින්ද සිරිසේන මගේ ජීවිතයේදී මුණගැසුණු එක්‌ අසාමාන්‍ය පුද්ගලයෙකි. ජීවිතයේ විවිධ හැලහැප්පීම් විඳදරා ගනිමින් අරගලයක යෙදෙන මිනිසුන්ගේ විවිධාකාර ජීවන අවස්‌ථා සිය ආත්මය කොටගෙන ඒවා රංගනය මගින් ඉදිරිපත් කිරීමෙන් ඇතිකරනු ලබන කම්පනය කරණකොට මම ඔහු අපූරු නළුවකු ලෙස දකිමි. කාලයේ වැලිතලාවෙන් අප මතකයේ ගිලිහී යානොදී එය අප මතකයේ සදාකල් රඳවා තබන්නට තරම් සිය රංගන ප්‍රතිභාව සංවේදී කරගත් සුමින්ද රාජ්‍ය නාට්‍ය උළෙලින් මෙන්ම රූපවාහිනී සම්මාන උළෙලවලදීද කිහිපවතාවක්‌ රංගනය සඳහා සම්මාන ලබාගෙන ඇත.

ප්‍රේක්‍ෂක, විචාරක ගරු බුහුමන් ලබමින් සිටින සුමින්දට තවදුරටත් රංගන ක්‍ෂේත්‍රයට දායකවීමට අවශ්‍ය ශක්‌තිය හා ධෛර්යය ලැබේවා·

සුමින්දට නිදුක්‌ නිරෝගී සුවය ඉක්‌මනින්ම ප්‍රාර්ථනය කරමි.

- තිලක් ගුණවර්ධන (වේදිකා නාට්‍ය නිෂ්පාදක - ටෙලිනාට්‍ය අංශ අධ්‍යක්ෂ, ජාතික රූපවාහිනියේ හිටපු නාට්‍ය අංශ ප්‍රධානී සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වැඩසටහන්)

(උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි.)

පොත් හතක් අටක් දැනටත් ලියා දාලා
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා

ඇත්ත නැත්ත ගැන මම නෑ වෙහෙසෙන්නේ
නිතරම පත්තරේට මගෙනුයි විස්තර යන්නේ

පුස්තකාලෙමයි කාලය ගතවෙන්නේ
ඒකයි ගත්කතුයි කියා කවුරුත් අමතන්නේ

පොත් හතක් අටක් දැනටත් ලියා දාල
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා

අන් විදෙස්වලත් තොරතුරු සපයන්නේ
ඔහෙලට මං නැතොත් වෙන කවුරුද ඉන්නේ

කාණුවෙත් නොයෙක් බිහිසුණු වැඩ වෙන්නේ
මෙ පුවත් පාලනේ මගින් කැපිලයි පලවෙන්නේ

පොත් හතක් අටක් දැනටත් ලියා දාල
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා....

ගායනය : සුමින්ද සිරිසේන
නා‍ට්‍ය‍ය‍ : මී පුර වැසියෝ (සෝමරත්න දිසානායක)

Audio: http://www.mediafire.com/?bzr8u9ra8cdcak3

මී පුර වැසියෝහි සුමින්දගේ රංගනයක් (video):http://www.youtube.com/watch?v=CQkRgNYTKTc

(මෙම ගීතය පිළිබඳව හෝ සුමින්ද සිරිසේනයන් පිළිබඳව ඔබ දන්නා දේ සහ ඔබට හැඟෙන දේ අප සමඟ බෙදාගන්න.)

No comments:

Post a Comment

මේ ගීතය ගැන ඔබ දන්නා දේ සහ ඔබගේ අනෙකුත් අදහස් අප සමඟ බෙදාගන්නා වූ ඔබට බොහෝම ස්තූතියි.