Sunday 29 July 2012

අහන් ඉන්න - මේකලා ගමගේ (Ahan Inna - Mekala Gamage)

අපි හැම කෙනෙක්‌ම මේ ලෝකය දකින්නේ එකම විදිහකටද... නැහැ... අපේ ඇස්‌වලින් අපි ලෝකය දකින්නේ එක එක විදිහට... ඒ ඇස්‌ ඇති අපි... ඒත්... ඇස්‌ නැති අය... දෙනෙත් අඳ අය... ලෝකය දකින්නේ අපි දකින ආකාරයටත් වඩා හුඟාක්‌ වෙනස්‌ විදිහට. අපි එක එක විදිහට ඇස්‌ දෙකෙන් ලෝකය දකිද්දී... ඇස්‌ නොපෙනෙන අය වෙනස්‌ විදිහකට ලෝකය දකිනවා. ඒ ඇස්‌වලින් නොවේ... හදවතින්... ඇස්‌ දෙක නැතත් ඒ අයට හොඳ හදවතක්‌ තියෙනවා... ලස්‌සන හදවතක්‌... ලස්‌සන විදිහට ලෝකය දකින්න... ඔවුන්ට ඒ හදවතින් පුළුවන්.

අහන් ඉන්න... අහගෙන ඉන්න...
මගෙ හදවත... මොනවද... මුමුනනවා...

ඈ... හදවතින් ලෝකය දකින යුවතියක්‌. ඇගේ හදවත මුහුනන දේ... මේ දවස්‌වල ඈ ගීයකින් ගයනවා. රුව නොවේ ඇගේ හඬ... ඔබට මේ දිනවල හුඟාක්‌ හුරුපුරුදු බව නම් විශ්වාසයි. ඒ ගීය ගයන්නේ මෙයාද... සමහරවිට හිතට කුකුසක්‌ ඇති වෙන්නත් පුළුවන්... විශ්වාස කරන්න... ඒ ගීය ගයන්නේ මැයම තමයි... දෙනෙතින් නොව හදවතින් ලෝකය දකින ඇයමයි... ඈ චින්තනී මේකලා ගමගේ....

"අහන් ඉන්න..." ගීතය වගේම රූපවාහිනි තිරය ඔස්‌සේ අපි දකින ඒ ගීයේ රූප රචනය එහෙමත් නැත්නම් විෂුවල් එකත්... හැඟුම්බරයි. එහි පෙනී සිටින්නේත් මේකලායි... ඒත් ඇයට මේ රූප රචනය කිසිදා දකින්න ලැබෙන්නේ නැහැ.

(උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි.)

අහන් ඉන්න.. අහගෙන ඉන්න..
මගෙ හිත මොනවද මුමුණනවා..

යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා..
කෝඩුකාර මල් රේණු අගින් සුවඳ බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා..

සිලි සිලියේ හමන සුළඟ කොඳුරන්නෙ අපටමයි
සතුට මිසක දුක මොකටද සෙනෙහස මහ මෙරයි..
අමාවකේ දුක දුරලන දසක් තරු කැට නුඹටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි..

පද: සෝමලතා හේරත් මැණිකේ
තනු: රුවන් ශ්‍රී වල්පොල
හඬ: මේකලා ගමගේ

Video: http://www.youtube.com/watch?v=tJql7HYs2gQ
Audio: http://www.mediafire.com/?35iq2t4btiudnel

(මෙම ගීතය පිළිබඳව ඔබ දන්නා දේ සහ ඔබට හැඟෙන දේ අප සමඟ බෙදාගන්න.)

No comments:

Post a Comment

මේ ගීතය ගැන ඔබ දන්නා දේ සහ ඔබගේ අනෙකුත් අදහස් අප සමඟ බෙදාගන්නා වූ ඔබට බොහෝම ස්තූතියි.