Sunday 29 July 2012

මා අහසේ ලියූ දේ - ශෂිකා නිසංසලා

ආදරය බොහොම පූජනීය දෙයක් විදියට දකින ඒ වගේම ගෞරවයෙන් යුතුව ඒ දිආ බලන අය අප බොහෝ අවස්ථාවලදී දැක තිබෙනවා. නමුත් ඇතැමුන් ආදරය දිආ බලන්නේ කායික ආසවන් මුදුන් පමුණුවා ගත හැකි තෝතැන්නක් හැටියට පමණයි. මේ විදිහට දකින අයට සැබෑ ප්‍රේමයක මිහිර විඳින්නට වාසනාවක් නැහැ. ඒ වෙනුවට ලැබෙන්නේ පසුතැවිල්ල හා වේදනාව පමණයි.

අද අපි ගීයක් රිද්ම සඳහා තෝරාගත්තේ එවැනි තේමාවක් තුළ ලියැවුණු ගීතයක්. මේ ගීතය ගායනා කරන්නේ නව පරපුරේ ජනප්‍රිය ගායිකා ශෂිකා නිසංසලායි. "සිරස එෆ්.එම් රේඩියෝවෙන් මගේ අලුත් ගීත දෙකක් නිර්මාණය කළා. අන්න ඒ මොහොතේ මට ඕනෑ වුණා යමුනා මලිනී පෙරේරා මහත්මියට කියා ගීතයක් රචනා කරවා ගන්න. අන්න ඒ මොහොතේ තමයි ගීතය මා අතට පත් වුණේ. ඇත්තටම ගීතය සිරසෙන් ඇහෙන්න පටන් ගනිද්දීම හුඟක් හොඳ ප්‍රතිචාර ආවා. මම හිතන්නේ ඒකට යමුන මාලිනී පෙරේරා මහත්මියගේ පද රචනාවට කසුන් කල්හාරගේ තනුවත් බලපෑවා කියලයි. ඔහු ඉතා හොඳ තනුවක් මේ වෙනුවෙන් යොදා තිබුණා." මෙහෙම කිව්වෙ ශෂිකා නිසංසලායි.

මේ ගීතය ලිව්වෙ යමුනා මාලිනී පෙරේරා බව අප ඔබට කිව්වා. ඇය මේ ගීතය ලිව්වෙ ඇගේ රසිකාවියකගේ අත්දැකීමක් මුල් කරගෙනයි. "සාමන්‍යයෙන් බොහෝ ගැහැනු පිරිමි අය මා හමු වෙනවා. ඒ වගේම කතා කරනවා. මේ විදිහට දුරකතනය ඔස්සේ කතා කළ තරුණ ගැහැනු ළමයෙක් මා හමුවීමට අවශ්‍ය බව පවසා මගේ රාජකාරි ස්ථානටය ආවා. ඇය ඇවිත් මේ ගීතයට පසුබිම් වී තිබෙන දේ මා සමඟ කිව්වා."

"මේ තරුණ ගැහැනු ළමයා එක්තරා පිරිමි ළමයකුට ආදරේ කර තිබෙනවා. ඇය ඔහුට ආදරය කර තිබෙන්නේ කායික ආසාවක් හිතේ තියාගෙන නෙමෙයි. නමුත් ඇයට වඩා මඳක් වැඩිමහල් තරුණයා ඇගෙන් කායික ආසාවන් මුදුන් පමුණුවාගන්න කටයුතුකොට තිබෙනවා. මෙන්න මේ පරිසරය තුළ තරුණ යුවතිය කළකිරීමට පත්ව තිබෙනවා. අවසානයේදී ඇය ආදරයට සමු දී පැත්තකට වෙලා."

"ප්‍රාර්ථනා මහ කන්දේ
කළුවර පාමුල උන්නේ මං
නුඹේ නුරා තරු එළියේ
කඳු මුදුනට ගෙන
නොගියා නම්...."

"මේ පද ටික හා ගීතයේ ඉතිරි පද ටිකත් ඔබ හොඳින් කියවා බැලුවොත් ගීතය ඔබට හොඳින් තේරුම් ගන්න පුලුවන් වේවි. ගැහැනු ළමයෙක් මුලින්ම ආදරය කරන්නේ මහමෙරක් තරම් උසට. ලෝකයක් තරම් බරට. ඒත් ඇතැම් පිරිමි අයට මේ ආදරේ තේරුම් ගන්න අමාරුයි. කායික ආසාවන් හැමදේකටම වඩා වැඩියෙන් ඉදිරියට ගෙනත් තියලා අර සුන්දර කුළුඳුල් ආදරය අවහිර කරනවා. අවසානෙයේදී සිදුවන්නේ පසුතැවිලි වෙන්න විතරයි." යමුනා මලිනී පෙරේරා ලියූ මේ ගීතය තුළ ඒ අදහස පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. ගීතයට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින් ලැබෙන්නෙත් ඒ නිසයි.

- සමන් ප්‍රියංකර නම්මුනිගේ

(උපුටා ගැනීම ලක්බිම පුවත්පතිනි.)

------------------------------------------------------

මා අහසේ ලියූ දේ
පෙනුණේ නුඹට විතරමයි
මා සුළඟට කියූ දේ ඇහුවේ
කවුද නුඹ තමයි...
එහෙව් නුඹට නොදැනුණේ...
නුඹට දුන්න හිත තමයි...
මගේ කියා මට තිබුණෙත්
ඒ එක හිත විතරමයි...
විතරමයි... විතරමයි...
ඒ එක හිත විතරමයි...

ප්‍රාර්ථනා මහ කන්දේ
කළුවර පාමුල උන්නේ මං
නුඹේ නුරා තරු එළියේ
කඳු මුදුනට ගෙන
නොගියා නම්...
අදත් මා හිඳීවී තවත් නුඹ පතාවී
නුඹ ගැනම හිත හිතා ඉන්නට...
හිතවත් මට තියේවී... මා අහසේ...
විතරමයි... විතරමයි...
ඒ එක හිත විතරමයි...

පද: යමුනා මලිනී පෙරේරා
තනු: කසුන් කල්හාර
හඬ: ශෂිකා නිසංසලා

Video: http://www.youtube.com/watch?v=1hYZrLnEWcs
Audio: http://www.mediafire.com/?c0b16xev3un8980


(මෙම ගීතය පිළිබඳව ඔබ දන්නා දේ සහ ඔබට හැඟෙන දේ අප සමඟ බෙදාගන්න.)

No comments:

Post a Comment

මේ ගීතය ගැන ඔබ දන්නා දේ සහ ඔබගේ අනෙකුත් අදහස් අප සමඟ බෙදාගන්නා වූ ඔබට බොහෝම ස්තූතියි.