Sunday 29 July 2012

සුභ මං තලයේ - සෙව්වන්දි රණතුංග

තබ්ලා ස්වර රටා මවමින් රසික සිත් සතන් ප්‍රබෝධමත් කළ ඒ අපූරු මිනිසා ඔහුය. තම දසැඟිලිවල පෙළහැරයෙන් මහා සංගීතඥ රවි ශංකර් පවා මවිත කළ ඒ සුන්දර මිනිසා ඔහුය. මෙරට තබ්ලා වාදන කලාවේ සංවර්ධනය උදෙසා මෙන්ම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සුවහසක් ශ්‍රී ලාංකීය දූ පුතුනට සංගීත ඥානය බෙදන්නට මහඟු සේවයක් කළ උදාර මිනිසා ඔහුය. ඔහු ඔබ අප කවුරුත් හඳුනන, මෑතකදී අපෙන් සමුගෙන ගිය දර්ශනපති විජේරත්න රණතුංගයන්ය.

තබ්ලා වාදකයකු ලෙස දශක පහකට අධික කාලයක්‌ මුළුල්ලේ මෙරට සංගීතය, ගීතය පෝෂණය කරන්නට දායක වූ එතුමා 'රිද්ම තරංග' නමින් තාල වාද්‍ය භාණ්ඩ ඇසුරු කරගත් ප්‍රසංගයක්ද ඉදිරිපත් කළේය. ඔහුගේ රිද්ම තාලයෙන් හැඩවූ සිය දහස් ගණන් නිර්මාණ අතර එඩ්වඩ් ජයකොඩි ගයන "මාරම්බරී" ගීය හැඳින්විය හැක. ජනප්‍රිය ගීත රැසකට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ ඒ මහතා ගේ සංගීතයෙන් ජනාදරයට පත් ගී නිර්මාණ අතර නිර්මලා රණතුංග ගයන 'ගලන ගලන දොලපාරේ', 'මිටින් මුදාහැර බැලු‍වෙමි', 'සිනා මල් ගොඩක්' වැනි ගීත රාශියක්ද වෙයි.

විජයරත්න රණතුංගයන් ප්‍රවීණ ගායිකා නිර්මලා රණතුංගගේ ආදරණීය සැමියා බවද නොදන්නා කෙනෙක්‌ නැත. සෙව්වන්දි රණතුංග ගායන ශිල්පිනිය මේ දෙපළගේ දියණියය. ඇය පියාගේ සංගීතයට තම මව සමඟ ගැයූ "සිනා මල් ගොඩක්" ගීය ඇගේ අතිශයින්ම ජනප්‍රිය වූ ගීය වුවද අද අප ගෙනෙ එන්නේ පියාගේ සංගීතයෙන්ම නිමව ඇය විසින් ගයන "සුභ මං තලයේ" ගීයයි.

සුභ මං තලයේ සඳ හිස ඇලයේ
මල් නොපිපුණු හිම කැලයේ
පොකුරින් පොකුරේ තරු මුතු එළියේ
රැඳවෙමි පෙම් සැණකෙළියේ..

මුව කමල අයා කියු දෙයම ලියා
පියවර එකිනෙකම තියා
මගෙ සුවඳ සොයා නළ ඇදෙන නියා
මතු එනු මැන මවෙත සොයා..

හෙට අලුත් ලොවේ හිරු අලුත් නොවේ
දහසක් කල් ගියත් නොවේ
අද වගෙයි භවේ හැම දිනක්ම ඒ
ඔබ සඳ වෙයි මවෙත භවේ..

පද: ප්‍රේමකීර්ති ද අල්විස්
තනු: දර්ශනපති විජයරත්න රණතුංග
හඬ: සෙව්වන්දි රණතුංග

Video: http://www.youtube.com/watch?v=9d2J-PKyX6s
Audio: http://www.mediafire.com/?3xrx85rg6k08lfm

(මෙම ගීතය පිළිබඳව ඔබ දන්නා දේ සහ ඔබට හැඟෙන දේ අප සමඟ බෙදාගන්න.)

No comments:

Post a Comment

මේ ගීතය ගැන ඔබ දන්නා දේ සහ ඔබගේ අනෙකුත් අදහස් අප සමඟ බෙදාගන්නා වූ ඔබට බොහෝම ස්තූතියි.