Sunday 29 July 2012

එක කුඩයක් යට - වික්‌ටර් රත්නායක

(වික්‌ටර් රත්නායකයන්ගේ 'ස' ප්‍රසංග සමුගැන්ම නිමිත්තෙන් අද දවසේ ගීතය වෙන් කෙරෙන අතර දිවයින පුවත්පතින් උපුටා ගත් අනර්ඝ ලිපියක් ගී මල් වැස්සෙන් ඔබට ඉදිරිපත් කරනු කැමැත්තෙමු)

--- -- --- -- --- -- --- -- --- -- --- -- --- -- --- -- 

ස්‌තෝත්‍ර ගීතයෙන් ආරම්භ වන්නා වූ ගීත සරණිය වා ගැබට විහිදෙත්ම සියල්ලෝ මන්ත්‍ර දැහැනකින් මෝහනයට දැපනය වැටුණු කලෙක මෙන් වෙති. ජාති කුල ගෝත්‍ර භාෂාදි භේද දුර්භූතව සියලු හදවත් රහස්‌ පෙම් දමෙකින් බැදි එකම හදවතක්‌ වැන්න......."

මේ "යාපනයට සංස්‌කෘතික දූතයකු සපැමිණි වගයි" යනුවෙන් මහාචාර්ය සුචරිත ගම්ලත් සූරීන් වසර තිස්‌ හයකට පෙර ලියූ සටහනක උපුටනයකි. කවුද මේ සංස්‌කෘතික දූතයා? ඔහු යාපනයට ආවේ කවර කටයුත්තකටද? යන පැනයත් ඔබේ සිතට නැඟෙනු ඇත. වික්‌ටර් රත්නායක නම් වූ මේ සංස්‌කෘතික දූතයාට යාපනයට ආරාධනා කළේ එවක යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් වූ මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය සුචරිත ගම්ලත් සහ ආචාර්ය ධර්මසේන පතිරාජයන් විසිනි. මේ අන් කවරකටවත් නොව මෙකල මෙන්ම එකලද රසික සිත් උමතු කළ "ස" ප්‍රසංගය සඳහාය. "ස" ප්‍රසංගයේ 301 වැනි ප්‍රසංගය යාපනය වීරසිංහම් ශාලාවේදී හැත්තෑ හයේ ජුලි තුන්වැනිදා පවත්වද්දී ලද ප්‍රතිචාර මහැදුරු සුචරිතයන්ගේ ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වේ. "ස" උන්මාදයක්‌ බවට පත් විය. රසය සොයා යැමේ සොඳුරු උන්මාදයක්‌ විය. තව තවත් ඉල්ලුම තියෙද්දී රසාස්‌වාදය පිපාසාවක්‌ව තිබෙන කලකදී "ස" සමඟ සමුගන්නට වික්‌ටර් රත්නායකයන් තීරණය කර හමාරය "ස" සමාප්තිය මෙම 18, 19, 20 තෙදින තුළදී පිළිවෙළින් නෙළුම්පොකුණ රඟහල, මහරගම යොවුන් රඟහල සහ "ස" ආරම්භ කළ ලුම්බිණි රඟහලෙන් අවසන් කෙරේ.

"ස" ඇරැඹෙන්නේ හරියටම මීට වසර තිස්‌ නවයකට පෙරය. එනම් හැත්තෑතුනේ ජුලි 20 දා හැව්ලොක්‌ ටවුන්හි ලුම්බිණි රඟහලෙනි. එකල පණ්‌ඩිත් අමරදේවයන් සහ විශාරද නන්දා මාලිනිය එක්‌ව කළ "ශ්‍රවණාරාධනා" රසික ප්‍රසාදය විශාල ලෙස ලබමින් රටවටා ගමන් කරන කාලයයි. රජයේ ලලිත කලායතනයේ නර්තන ශිෂ්‍යාවක්‌ වූ චිත්‍රා රත්නලතා ජයසිංහ සමඟ විවාහ වූ වික්‌ටර් පදිංචිව සිටියේ නාවල ගල්පොත්ත පාරේය. ඒ ජයන්ත, චාන්දනී, මංජුලා, ලෙලුම් දරුවන් හතරදෙනා ද සමගිනි. ජයන්තට වයස අවුරුදු පහකි. චාන්දනීට වයස හතරකි. මංජුලා තුන් හැවිරිදිය. පොඩි පුතු ලෙලුම්ගේ වයස මාස කිහිපයකි. ඒ "ස" ආරම්භ කළ කාලයේය. එහෙත් අද වික්‌ටර් රත්නායකයන් "ස" අවසන්කරද්දී එදා ඒ දරුවන් සිටි වයසේ පසුවන මුණුබුරන්ගේ සීයා කෙනෙකි. "ස" ඒ තරම් කාලයක්‌ ගමන් කර ඇත.

බණ්‌ඩාර කේ විඡේතුංග, ප්‍රේමකීර්ති ද අල්විස්‌, සුනිල් ආරියරත්න, කේ. ඩී, කේ. ධර්මවර්ධන, ආර්. ආර්. සමරකෝන්, හරිස්‌චන්ද්‍ර වීරසිංහ සහ චින්තන ජයසේන එකල වික්‌ටර්ගේ නවාතැනේ නිතර නිතර හමුවී සතුටු සාමිචීයේ යෙදෙති. එවන් දිනෙක මේ එක්‌ සහෘදයෙක්‌ තවකකුගෙන් මේ දවස්‌වල සාර්ථකම ප්‍රසංගය මොකක්‌දැයි විමසුවේය. "ශ්‍රවණාරාධනා....." කිහිපදෙනෙක්‌ම කීහ. "වික්‌ටර්ටත් පුළුවන්නේ තනිවම ප්‍රසංගයක්‌ කරන්න" චින්තන යෝජනා කළේය. වික්‌ටර්ට බියක්‌ දැනිණි. "ඒක පුද්ගල ප්‍රසංගයක්‌ ලේසි නැහැ" ඔහුගේ මුවින් ඉබේම පිට වූ වචන කිහිපයකි. කෙසේ වුවත් සහෘදයන්ගේ යෝජනාව ස්‌ථිර විය. ප්‍රසංගයක්‌ ආරම්භ කිරීමට නම් ඊට නමක්‌ අවශ්‍යය. අපි ස්‌වර හතේ මුල් අකුර අරගනිමු. "ස" කියලා ප්‍රසංගයට නම තියමු........." චින්තන ජයසේන කළ යෝජනාව යළි ස්‌ථිර විය. චිත්‍ර ශිල්පි උපසේන ගුණවර්ධන ප්‍රසංගයට ඇඳුම් නිර්මාණය කර දුන්නේය. කිසිදු අය කිරීමකින් තොරව නූර්ටෙක්‌ස්‌ ගාමන්ට්‌ අධිපති විමලජීව ගනේගොඩ නොමිලේ ඇඳුම් ලබා දුන්නේය. ඒ වනවිට වික්‌ටර් ක්‍ෂේත්‍රයට පැමිණ වසර නවයක්‌ ගතව ඇති නිසා හොඳ ගීත එකතුවක්‌ද තිබිණි. "ස" මංගල ප්‍රසංගයට හැව්ලොක්‌ ටවුන් ලුම්බිණි රඟහල තෝරා ගත්හ. "ස" නිසාම එතෙක්‌ කරගෙන ආ ගුරු වෘත්තියට ද වික්‌ටර් සමුදුන්නේය.

අපි ඔක්‌කොම රජවරු ඔක්‌කොම වැසියෝ
තුන් සිංහලයෙම නෑදෑයෝ
අපි ඔක්‌කොම මව්වරු ඔක්‌කොම පියවරු
තුන් සිංහලයෙම දූදරුවෝ......

එසේ ඇරැඹි "ස" රසික සිත් උමතු කරමින් පනස්‌වැනි දර්ශනය හැත්තෑ හතරේ සැප්තැම්බර් 28 දා පැවැත්වූයේ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වූ ප්‍රථම ඒක පුද්ගල සංගීත ප්‍රසංගය ලෙසට වාර්තාවක්‌ද තබමිනි.

"ස" සමාප්ති ප්‍රසංගය මෙන්ම එදා සියවැනි දර්ශනය ද තෙදිනක්‌ පුරා පවත්වනු ලැබුවේය. ඒ ලයනල් වෙන්ඩ්ට්‌ රඟහලේය.

මේ ආකාරයට දෙසීය තුන්සිය, පන්සීයද පසු කරමින් "ස" දහස්‌ගව්වට පිවිසෙද්දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් වූ ඡේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග යන අයද නරඹන්නන් බවට පත්වූහ.

මෙරට පමණක්‌ නොව "ස" පළමුවරට විදේශීය ප්‍රසංගයක්‌ පැවැත්වූයේ නවසිය හැත්තෑ අටේදී මැලේසියාවේය. ඉන්පසු 2011 ජනවාරි 30 ඔස්‌ටේ්‍රලියාවේ "ස" ප්‍රසංගයක්‌ පවත්වනතුරු විදෙස්‌ සංචාර හතළිහකට අධික සංඛ්‍යාවක්‌ පවත්වා විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන්ට ද මධුර ගී රසය විඳින්නට අවස්‌ථාව ලබාදී ඇත.

වික්‌ටර් රත්නායකයන්ට, "ස" ප්‍රසංගයට රසික රසිකාවියන් එදත් අදත් එකසේ ආදරය කරති. ප්‍රසංගයක්‌ අවසානයේදී රසික රසිකාවියන් වික්‌ටර් වට කර ගනිති. ඔහුගේ හිසකෙස්‌ ගලවා ගනිති. ප්‍රසංගය පුරා ගී ගයද්දී උනන දහඩිය පිස දමන ලේන්සුව පවා උදුරා ගනිති. එසේ උදුරා ගන්නා ලේන්සුව සමඟ ද හතරට පහට ඉරා සිහිවටන සේ බෙදා ගනිති.

"ඔබේ හිසකෙස්‌ හතළිස්‌ නවයක්‌ මම සුරැකිව තබාගෙන සිටිමි..." දිනක්‌ වික්‌ටර්ට එක්‌තරා රසිකාවියක්‌ ලියා එවා ඇත. "ස" ප්‍රසංගය හතළිස්‌ නව වතාවක්‌ නැරඹූ බවට එය සාක්‍ෂියක්‌ බවද ඇය පවසා ඇත. ඒ තරම් උන්මාදයක්‌ "ස" ප්‍රසංගය කෙරෙහි වික්‌ටර්ගේ ආදරණීය කටහඬ කෙරෙහි පැවැති නිසාම ඇතැම් ශාලා හිමියන් ප්‍රසංගයට ශාලාව පවා ලබාදීමට මැලිවී ඇත. ඒ පාලනය කළ නොහැකි තරමට පැමිණෙන රසික පිරිස නිසා ශාලාවට අලාභහානි සිදුවන බැවිනි.

එකල සෑම සති අන්තයකම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල "ස" ප්‍රසංගය ශ්‍රී ලංකාවේ කොතැනක හෝ නගරයකදී රස විඳින්නට රසිකයනට අවස්‌ථාව ලැබිණි.

ගත වූ වසර තිස්‌ නවය පුරා "ස" ප්‍රසංගය ඔස්‌සේ රසික මනස පෝෂණය කරන්නට, යහපත් සාමාජයක්‌ ගොඩනගන්නට වික්‌ටර් රත්නායකයෝ කටයුතු කළහ. මේ කාලය තුළ හමා ආ කිසිදු රැල්ලක්‌ හමුවේ නොසැලී සිටි හේ නව පරපුරට ආදර්ශමත් චරිතයක්‌ ද විය.

"ස" සජීව ජීවමාන ජනප්‍රවාදයක්‌ බවට ඇතමුන් හඳුන්වති. මේ ජනප්‍රවාදය තුළ "ස" ප්‍රසංගය මෙන්ම වික්‌ටර් රත්නායක ද ජනප්‍රවාද බවට පත් වූ බවත් ඔවුහු පවසති.

වික්‌ටර් ප්‍රතිභාපූර්ණ, සම්මානනීය සංගීතඥයෙකි. වෙනත් ශිල්පීන් වෙනුවෙන් ඔහු විසින් සංගීතය නිර්මාණය කළ අතිශය ජනප්‍රියවූ ගීත සංඛ්‍යාව ද විශාලය.

කුමරියක පා සළඹ සැලුනා.....
වසා සිටි නෙතු පියන් ඇරුනා........
කුමර බඹසර අසපුවේ මා
සමවැදී උන් දැහැන් බිඳුණා..........

පණ්‌ඩිත් අමරදේවයන් එම ගීයට පමණක්‌ නොව බමරිඳු, බඹරිඳු, බඹර පැටික්‌කි, මිහිලිය නළලේ යන ගීතවලටද තනු සහ සංගීතය නිර්මාණය කළේය.

දෙනෝදාහක්‌ නුවන් අතරේ
කවුරුදෝ මා ..... තනි කළේ..........
පාසල් බිමේ..........

විශාරද නන්දා මාලිනිය ගයන ඒ ගීය පමණක්‌ නොව මට මව් පදවිය, රුවන් මුවා පොළෝ තලේ.... ඇතුළු ගීත රැසක්‌ද, සුනිල් එදිරිසිංහයන්ට සඳකඩ පහනක, වෙරළු ගෙඩිය, බානෙන් බැඳ, සිනාසෙනු මැන, කුඩා ගමේ මද්දහනේ, හිසේ ගිනි ඇවිලෙතේ, සොයා පිළිසරණක්‌ ආදී ගීත ද එච්. ආර්. ජෝතිපාලයන්ට - රාජකිරුළු පළන්දාපු රඡ්ජුරුවෝ, සිහින විලේ නිලුපුල් (ලතා වල්පොල - ජෝතිපාල ගැයූ ප්‍රථම යුග ගීය), අබේවර්ධන බාලසූරියට - පියාණෙනි මා දිනක මතුදා, අනුරාධපුරය ඔබයි, සිහිවටනය සේ, ඉසුරු දෙවිඳු, ඔබෙන් තොර ලෝකයක්‌ ඇතුළු ගීතනු 80 ක්‌ පමණ ද, නිරංජලා සරෝජිනීට - අනුරාධපුරේ අනුරාධ නැඟූ, දියපිට ඇන්දා ආදර සිතුවම්, ඔබත් මාත් අතරේ, ලොව නිසසල වී ඇතුළු ගීතනු හැත්තෑ පහක්‌ පමණ ද වික්‌ටර් රත්නායකයන් නිර්මාණය කර ඇත.

දෙඅදර විලිකුන් සුරත්පළේ
පෙම් මදිරා අයෑදිමින් සැලේ
සීත මිදුම් සිහින වැල් පැටලේ.........

මිල්ටන් මල්ලවාරච්චිට එම ගීය ඇතුළු ගීත රැසක්‌ ද, නීලා වික්‍රමසිංහට - ඉඟිබිඟි කරනා, සූසැට බරණින් ඇතුළු ගීත රැසක්‌ද, ප්‍රෙඩී සිල්වාට - කුණ්‌ඩුමනී, පාන් කිරිත්තා, හඳ මාමා උඩින්යතේ ආදී ගීත කිහිපයක්‌ ද තනු රචනා කළ වික්‌ටර් රත්නායකයන් නිර්මලා රණතුංග, බන්දුල විඡේවීර, එඩ්වඩ් ජයකොඩි, රෝහණ වීරසිංහ, µsලික්‌ස්‌ ඇන්ටන්, සිසිර සේනාරත්න, ශ්‍රීමතී තිලකරත්න, සමිතා මුදුන්කොටුව, වින්සන්ට්‌ ප්‍රේමසිරි, ඡේ. ඒ. මිල්ටන් පෙරේරා, රෝහණ බෝගොඩ, සෝමතිලක ජයමහ, ලතා වල්පොල, ඒ. එස්‌. බී. රාණි පෙරේරාට පමණක්‌ නොව රුක්‌මණී දේවියට පවා ගී තනු රචනා කර දී ඇත.

සුභාවිත ගීයත් ඒ හා බැඳී ඇති සංස්‌කෘතියත් අගාධයට ඇද වැටී ඇති කලෙක ඇසෙන "ස" වැනි සුගායනිය ගීත ප්‍රසංග සමාප්ත කිරීම කණාගාටුවට කරුණකි. වික්‌ටර් නවකයන්ට අභ්‍යාසයකි. ඔහු වසර තිස්‌ නවයක්‌ තිස්‌සේ "ස" ප්‍රසංගයට ගී ගැයුවේ සජීවිවය. කිසිදු අවස්‌ථාවක පටිගත කළ ගීයක්‌ පසු බිමින් වැයෙද්දී ප්‍රේක්‍ෂකයා හමුවේ කටහඬ සොලවමින් රඟපෑම් කරන්නට ඔහු කිසිදා කටයුතු කළේ නැත.

ජන, ජනප්‍රිය මෙන්ම සම්භාව්‍ය යන අංග තුනම විශ්මයජනක ලෙස ස්‌පර්ශ කරන වික්‌ටර් රත්නායකයෝ ගීයක්‌ ගයද්දී වචන හසුරුවන අයුරු, ඒ වචනවල සංවේදී බව ඉස්‌මතු කරමින් ශ්‍රාවකයා කම්පනයට පත් කිරීම අතිශය පුදුමාකාරය.

වික්‌ටර් රත්නායකයන් සංගීත ක්‍ෂේත්‍රයට පිවිසියේ වයලින වාදකයෙක්‌ ලෙසය. වයලිනය මිනිස්‌ කටහඬට ඉතා සමීප සංගීත භාණ්‌ඩයකි. ඉන් ලද හික්‌මීම වික්‌ටර්ගේ ගායන දිවියට පිටිවහලක්‌ වන්නට ඇත. වයලිනය වැයූ වික්‌ටර් ගායකයකු වෙද්දී ඉතා නිවැරැදි ලෙස ස්‌වර ස්‌ථානයන්හි පිහිටා ගී ගැයීමට නිසඟ හැකියාවක්‌ ලැබුවේය. ඔහුගේ ගී ඔස්‌සේ කිසිදු අවස්‌ථාවක අපස්‌වරයන් නොගැයෙන්නේ එබැවිනි. වයලිනය ඇසුරින් ගායනයට ආ අමරසිරි පීරිස්‌, මර්වින් පෙරේරා, ටී. එම්. ජයරත්න, ඩී. ඩී. ගුණසේන, නිමල් ගුණසේකර වැන්නවුන්ද ඊට කදිම නිදසුන්ය.

සමාප්තිය සිදුවන්නේ "ස" ප්‍රසංගයේ මිස වික්‌ටර් රත්නායකයන්ගේ ගායනය නොවේ. එහෙත් "ස" වැනි ප්‍රසංගයක්‌ අනාගත පරපුරට කිසිදු අවස්‌ථාවක දැක බලා ගැනීමේ වාසනා මහිමය නොලැබීම කණගාටුවකි. එහෙත් වික්‌ටර් රත්නායකයන් පවසන්නේ තමන් "ස" ප්‍රසංගයට ගෞරවාන්විත ලෙස සමුදිය යුතු කාලය එළැඹ ඇති බවය. වික්‌ටර් රත්නායකයන්ට ගෞරවයක්‌ ලෙස තබන මේ සටහන අවසන් කිරීමට මත්තෙන්, ඔහුගේ අදහස්‌වලට ද ඉඩදීමෙහිද වටිනාකමක්‌ ඇති බව සිතමි.

"ස" ප්‍රසංගය නියම කලට, ජාතියේ අවශ්‍යතාව මත ඇරඹුණා. එහි ඔටුන්න මට විතරක්‌ නොවේ. ශිල්පියෙක්‌ දැන ගත යුතුයි තමන්ගේ කුසලතාව ගැන. තම ශිල්ප උපක්‍රම රසිකයා වෙත ගෙන යා හැකි ශක්‌තිය කවදාද අහිමි වන්නේ කියන කරුණත් ශිල්පියා දැනගත යුතුයි. ඕනෑම ශිල්පියකුට ඒ බව ඉඟියෙන් දැනෙනවා. එවිට තේරුම් යනවා දැන් සිංදු විස්‌සක්‌ විසිපහක්‌ එක දිගට ගයන්න අමාරුයි කියලා.

මේක ඕනෑම කෙනකුට පොදුයි. ක්‍රීඩකයන් පවා සමුගන්නවා. ඒත් රසිකයන්ට හිතෙන්න පුළුවන් මට තවම ගායනා කරන්න පුළුවන් කියලා. ඒත් ගීත නිර්මාණය හැදූ, ඒවා ගයන මට දැනෙනවා. දැන් ගායනා කරන්න බැරි බව. ඉතින් ඒ බව දැනෙද්දී ආරම්භයේදී වගේම අවසානයේදීත් ප්‍රසිද්ධියට පත් කළ යුතුයි. ගෞරවය රැකෙන්නේ එවිටයි. අතීතයේදී කළ නිර්මාණවලට අගෞරවය නොකරන්න ශිල්පියා දැනගත යුතුයි. ඒ නිසා වචන පටලවමින් ගී ගැයිය යුතු නැහැ. සියලු සංස්‌කාර ධර්මයෝ අනිත්‍යයයි. කලාවටත් ගීතයටත් මේක පොදුයි. මට දැන් ගී ගයන්න බැරිවී ගෙන යනවා. ඒ නිසා තවත් අලුත් ගීත ගැයිය යුතුය තව තව ප්‍රසංග කළ යුතුයි කියා නොසිතා ශිල්පයේ සහ ප්‍රසංගයේ ගෞරවය රැකගෙන එය නතර කළ යුතුයි. මම "ස" ප්‍රසංග වාර එක්‌දහස්‌ හාරසිය පනහක්‌ කළා ප්‍රසංගය ආරම්භ කළ ශිල්පියාම එය අවසානය කරා රැගෙන ආවා.

වික්‌ටර් රත්නායක සරල වින්දනය තුළින් ශාස්‌ත්‍රීය රුචිය වර්ධනය සඳහා ශ්‍රාවකයා ඥනනය කළ සංගීත ශිල්පියෙකි. එහෙත් ඔහු පිළිබඳ නිවැරැදි තක්‌සේරුවක්‌ මෙතෙක්‌ සිදු නොවීම අතිශය කණගාටුවකි. අපේ රටේ සංස්‌කෘතික අමාත්‍යාංශයක්‌ ඇත. සංගීතය සඳහාම වෙන්වූ අනුමණ්‌ඩලයක්‌ද ඇත. එහෙත් වසර තිස්‌ නවයක්‌, ප්‍රසංග වාර එක්‌දහස්‌ හාරසිය පනහක්‌ සජීවීව ඉදිරිපත් කළ ශිල්පියෙක්‌ ශ්‍රී ලංකාවේ සිටින බවවත් මේ ආයතන නොදන්නේද? මෙතරම් සේවාවක්‌ කළ ශිල්පියෙක්‌ ලෙස වික්‌ටර් රත්නායකයන් ඇගයීමට ලක්‌ කළ අවස්‌ථාවක්‌ මේ දක්‌වා අප අසා නැත. දැකද නැත. එහෙත් රසික ප්‍රසාදය අදත් ඔහුට ඇත. "ස" සමාප්තිය සිදුවන්නේ රසිකයන් එය ප්‍රතික්‍ෂේප කරන නිසා නොවේ. රසික ඉල්ලුම තව තවත් වැඩිවෙද්දීය. වික්‌ටර් රත්නායකයන් "ස" සමගින් සමුගන්නේ සමු ගැනීම ජීවිතයේ ස්‌වභාවයය නිසාවෙනි. එය ලෝක ධර්මතාවකි. ඊට අපි මුහුණ දිය යුතුය.

- අජිත් අලහකෝන්

(උපුටා ගැනීම: දිවයින පුවත්පත - 2012.07.13)

--- -- --- -- --- -- --- -- --- -- --- -- --- -- --- --

වික්ටර් රත්නායකයන් වෙනුවෙන් ඔහුගේ කුමන ගීතය ඉදිරිපත් කරනෙමුද? ආදරෙයේ උල්පත වූ අම්මා, අපි ඈතට ඈතට, කුරුල්ලන්ට ගී ගයන්න, අහිමි උනත්, තො‍ටුපල අයිනේ, රූකඩ මඩු යාග පොලේ, දෛවයෝගයකින්, කොහේ සිට ඔබ, සසර සැරිසරන තෙක් ඔබ මගේ, පෙම්බර මධු මගේ, ගිගිරි ගීත රාවේ, මල් පොකුරු පොකුරු, මියුරු කල්පනා, සඳකැන් වැසිලා, සඟවා ගනු මැන, එපා හිරු පායන්න, තනි තරුවේ.. යනාදී වශයෙන් මියුරු ගී රැසක් එකවරම අප මතකයට නැඟේ. එහෙත් අද අපි ඔබට ගෙන එන්නේ දෙල්තොට චන්ද්‍රපාලයන් විසින් රචිත, විශිෂ්ට සංගීතඥ ස්ටැන්ලි පීරිස් මහතා අතින් සංගීතවත් වූ මේ සොඳුරු ගීයයි.

එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ
මතකද ඔබ මා පියවර මැන්නා
පිනිමල් වරුසාවේ...

කිසිවකු සමඟින් එකට තුරුළු වී
ඉර බැස යන වේලේ
ඔබ යනු දුටුවිට මතකය රිදවයි
අපෙ ඉස්සර කාලේ..

මඳ අව් රස්නෙට වුව සෙවණක් නැත
ඔබහට අද දවසේ
වැස්සට අව්වට තනිව මුහුන දෙමි .
මගේ මහිම එලෙසේ..

පද: දෙල්තොට චන්ද්‍රපාල
තනු: ස්ටැන්ලි පීරිස්
හඬ: වික්ටර් රත්නායක

Video: http://www.youtube.com/watch?v=93M0qQPxWAI
Audio: http://www.mediafire.com/?gnkb64xcfgnhxj6

(මෙම ගීතය පිළිබඳව හෝ වික්ටර් රත්නායකයන් පිළිබඳව ඔබ දන්නා දේ සහ ඔබට හැඟෙන දේ අප සමඟ බෙදාගන්න.)

No comments:

Post a Comment

මේ ගීතය ගැන ඔබ දන්නා දේ සහ ඔබගේ අනෙකුත් අදහස් අප සමඟ බෙදාගන්නා වූ ඔබට බොහෝම ස්තූතියි.