Sunday 29 July 2012

නෙතු කඳුලැලි - ඉන්දිකා උපමාලි

ඉන්දිකා උපමාලි සංගීතමය පවුල් පසුබිමකින් ගායන ක්‍ෂේත්‍රයට පා තබන්නියක වේ. ඒ ඇගේ පියා වන සිරිපාල සමරසේකර සංගීත ගුරුවරයෙක්‌ වූ නිසාවෙනි. සඳපහන් රැයේ........ පෑයූ දීප්තිමත් තාරකාවක්‌ මෙන් කලා ක්‍ෂේත්‍රය පැමිණි ඇය වඩාත් ජනප්‍රිය වූයේ ගායන ශිල්පිනියක්‌ ලෙසට සහෘද හදතවත් තුළ සදා නොමැකෙන හඬක්‌ මුසු කරමිනි. ඒ දීප්තිය වඩාත් තීව්‍ර කිරීමට විශාරද මාලනී බුලත්සිංහලයන්, ආචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරිගෙන් හා ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයෙන්ගෙන් ලැබුණ දැනුම අතිමහත් ය.

ඉන්දිකා ඔබ සංගීත ක්‍ෂේත්‍රයට යොමු වන්නේ පියාගෙන් ලද ආභාසය නිසාමද?

මගේ තාත්තා සංගීත ගුරුවරයෙක්‌. වෘත්තියට අමතරව ඔහු වේදිකා නාට්‍ය, සංගීත ප්‍රසංග සංවිධානය කළා. බහ තෝරන කාලයේ ඉඳලම මමත් තාත්තාගේ කලා කටයුතුවලට සම්බන්ධ වුණා.

ඇත්තටම තාත්තා නිසා තමයි මට මේ තැනට එන්න ලැබුණේ. ඒ නිසා සංගීතය මගේ ජීවිතයේ කොටසක්‌ වුණා. හරියට ගලවලා වෙන් කරන්න බැරි තරමටම.

ශිෂ්‍යාවක්‌ ලෙසට කොයි ආකාරයට ඔබ සංගීතය හැදැරුවේ?

ඒ දවස්‌වල තාත්තා ආදේශ සංගීත භාණ්‌ඩ යොදාගෙන, සාම්ප්‍රදායික සංගීත භාණ්‌ඩ වාදනය කරන කණ්‌ඩායම් කිහිපයකුත් සමඟ තරගයකට ඉදිරිපත් වුණා. ඒ කණ්‌ඩායමේ සාමාජිකාවක්‌ මමත්. ඒ තරගයෙන් සමස්‌ත ලංකා පළමු තැන ගන්න අපට පුළුවන් වුණා. තාත්තාගේ ගුරු මාරුවත් එක්‌කම මටත් පාසල් කිහිපයකටම යන්න වුණා. එහිදී තාත්තාගේ ලොකු ආශාවක්‌ තිබුණා මාලනී බුලත්සිංහල ගුරුතුමිය ලවා මට සංගීතය උගන්වන්න. ඒ නිසාම මාව කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයට ඇතුළත් කළා. එහිදී ඇය මගේ හැකියාව හඳුනාගෙන ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මාස්‌ටර්ට මාව හඳුන්වලා දුන්නා.

ආචාර්ය කේමදාසයන්ගේ හමුවීමත් සමඟ මොනවගේ වෙනසක්‌ ද සිද්ධ වුණේ?

අමුතුම අත්දැකීමක්‌ සමඟ අසීරු ගමනකට මුල පිරුව වගේ දැනුණා. ඒ වෙනකන් ගුරුවරයා කියන දේ අහගෙන ඉඳලා ඒ හඬම අනුකරණය කරලා ගායනා කරන එක වෙනස්‌ වුණා. එදා මුල්ම දවසේ මාස්‌ටර් මට කිව්වා මතකයි මාස තුනක්‌ යනකම් කට හොල්ලන්නවත් එපා කියලා. ප්‍රාසාංගිකත්වය සමඟ ගායනයත් ඉවසීමෙන් පුරුදු පුහුණු වෙන අතරෙ ලොකු කැප කිරීමක්‌ කරලා මා තුළ තිබූ හැකියාව කාලයත් එක්‌ක මාස්‌ටර් ඉදිරියට ගත්තා.

එහිදී මාස්‌ටර්ගේ මානසවිල, දොරමඩල, පිරිණිවන් මංගල්‍යය, අග්නි වැනි ඔපෙරාවලට සම්බන්ධ වෙන්න මට අවස්‌ථාව ලැබුණා.

මාස්‌ටර්ගේ වියෝවෙන් පසුව සංසදය පවත්වා ගෙන යන්නේ කෙසේද?

මාස්‌ටර් අප අතරින් වෙන්වෙන්න කලින් අග්නි ඔපෙරාව පුරුදු පුහුණු කළේ ලොකු ආශාවකින්. ඒ නිසා දිගටම අග්නි ඔපෙරාව පවත්වාගෙන යනවා. මගේ ලොකු අක්‌කාත් සංගීත ගුරුවරියක්‌. ඇගේ ඇඳුරුම්කම මත අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන අයකු කළ යෝජනාවකින් පස්‌සේ අක්‌කත් මමත් එකතු වෙලා පාසල් විෂය මාලාවට අග්නි ඔපෙරාව ඇතුළත් කළා. මම හිතනවා නව නිර්මාණ බිහිකරන දරුවන්ට එය ලොකු අත්වැලක්‌ වේවි කියල.

කලාකාරිනියක්‌ ලෙසට ඔබ සියලූ අංශවලින් දක්‍ෂතා පෙන්වූ තැනැත්තියක්‌?

මුලින්ම මම රඟපෑවේ කපිල කුමාර කාලිංගගේ ධවලකේතු. ඊට පස්‌සේ හිරු තනිවෙලා, වසන්තය ඇවිල්ලා, පුලින ප්‍රාසාද, උතුරුකුරු සටන, ජයතුරා ශංඛ ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකුත්, භේරුණ්‌ඩ පක්‍ෂියා, සැලමුතු පින්aන, සූවිසි විවිරණ ඇතුළු චිත්‍රපට කිහිපයකත් යශෝධරා, සක්‌වාදහවල, මොනරු සහ අපි වැනි වේදිකා නාට්‍ය කිහිපයකත් රඟපෑවා.

මේ සියලූ අංශයන්ගෙන් ඔබ වඩාත් ජනප්‍රිය?

කලාකාරිනියක්‌ කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති තැනැත්තියක්‌ වෙන්න ඕනෑ. ඒ වගේම ලොකු කැපකිරීමක්‌ කරන්නත් ඕන. ඒ අතින් ගත්තාම මම බොහෝ දුරට ගැවසිලා තියෙන්නේ සංගීත විෂය පථය තුළ. අතලොස්‌සක්‌ වැනි චරිත කිහිපයක්‌ රඟපෑවත් ගායිකාවක්‌ වගේම රංගන ශිල්පිනියක්‌ විදිහටත් සමබර ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඒ වුණත් මම හිතනවා වැඩියෙන්ම ජනප්‍රිය සංගීත අංශයෙන් කියලා.

ඊට හොඳම උදාහරණයක්‌ ඔබ අද සංගීත අංශයෙන් කථිකාචාර්යවරියක්‌ වීම?

ඔව්, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක්‌ ලෙසට මම සේවය කරනවා. ශිෂ්‍යාවක්‌ හැටියට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වුණාට පස්‌සේ ඒ අත්දැකීමත් මා තුළ ලොකු වෙනසක්‌ සිදුකළා. මම ගෞරව කරපු ගුරුවරුන් පිරිසක්‌ වන විශාරද රශ්මි සංගීතා, ආචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි, කෝලිත භානු, අමරා රණතුංග වැනි දැවැන්තයන් යටතේ සංගීතය හදාරන්න ලැබුණා. ඒ අතරෙ මගෙ ලොකු අක්‌කගෙ හීනයක්‌ වෙලා තිබුණා කවදා හරි මම කථිකාචාර්යවරියක්‌ වීම.

(දිවයින පුවත්පත වෙනුවෙන් ලක්‌මිණී අතුකෝරල විසින් ලියන ලද ලිපියකින් උපුටා ගැනුණකි.)

නෙතු කඳුලැලි ඉනුවා
හිත දැවුනා..
සාර සියක් තරු එලි නිවුනා
සඳ මැකුනා..
හිත දැවුනා..
සඳ මැකුනා..
ඔබ ආයෙත් හිත මත ‍රැඳුනා
පුරුදු දුකම දැනුනා..

දෑල මලින් පිරි මා කැඳවූ මඟ
විසකුරු ක‍ටු අතුරා..
දූවිලි දුම් මැද මා මග තනි කර
ඈතට ගිය හැටි මතක ඉමේ ඇඳුනා..

ආල තෙපුල් මත මා රවටා ඔබ
මිරිඟුව මැද නවතා..
සීතල හීනෙක මා සිත තනිකර
ආපිට යන මඟ මගේ කඳුලු තිබුනා..

පද: නිලාර් එන් කාසිම්
තනු: කසුන් කල්හාර
හඬ: ඉන්දිකා උපමාලි

Audio: http://www.mediafire.com/?e8kok16lk6t61uz
Video: http://www.youtube.com/watch?v=pcgGzSfvLj4

(මෙම ගීතය පිළිබඳව පිළිබඳව ඔබ දන්නා දේ සහ ඔබට හැඟෙන දේ අප සමඟ බෙදාගන්න.)

1 comment:

මේ ගීතය ගැන ඔබ දන්නා දේ සහ ඔබගේ අනෙකුත් අදහස් අප සමඟ බෙදාගන්නා වූ ඔබට බොහෝම ස්තූතියි.