Sunday 29 July 2012

මුතු කැට වැටෙනා - රූකාන්ත ගුණතිලක (Muthu Keta Wetena - Rookantha Gunathilaka)

දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ සිංහල සංගීත ක්ෂේස්ත්‍රයට අමිල දායකත්වයක් දුන් එහෙත් අවම ප්‍රසිද්ධියෙන්, නිහඬවම නමුත් උපරිමයෙන් තම සේවය ඉටු කළ සංගීතඥයෙකි ඔහු. ජෝතිපාලයන්ගේ මේ නොනිමෙන දිවි ගමනේ, මගෙ පොඩි යාලූ නෙලමුද ඕලූ, නුවන් ගුණවර්ධන ගයන කිරි මුහුදු වෙරළේ, අද අප ඉදිරිපත් කරන රූකාන්තගේ මුතුකැට වැටෙනා ගීයද ඔහු තනු මැවූ ගීත ගොන්නේ වඩාත් ප්‍රචලිත ගීත වේ. 

ප්‍රදීපා ධර්මදාස හොඳම ගායිකාව ලෙස "සංක්‍රාන්තියේ රාත්‍රිය" චිත්‍රපටයට ගැයූ ගීයට 1998 දී ජනාධිපති සම්මාන ලැබිණි. ඒ ගීයේ සංගීත නිර්මාණයද ඔහුගේය. විශාරද නන්දා මාලිනිය 2000 දී හොඳම ගායිකාව ලෙස ජනාධිපති සම්මාන ලබාගත් "රාගිණි" චිත්‍රපටයට ගැයූ ගීයේද සංගීත අධ්‍යක්‍ෂවරයා ඔහුය. 2000 වසරේ හොඳම සංගීත අධ්‍යක්‍ෂවරයාද වූ ඔහු 2006 දී "සමන්තා" චිත්‍රපටයට නීලා වික්‍රමසිංහ ප්‍රවීණ ශිල්පිනිය සරසවි සම්මාන හිමිකරගත් ගීයේද සංගීත අධ්‍යක්‍ෂවරයාය. ඔහු චිත්‍රපට තිහකට ආසන්න සංඛ්‍යාවක සංගීත අධ්‍යක්‍ෂවරයා වේ. ඔහු මේ වන විට ටෙලි නාට්‍ය එකසිය පනහකට පමණ සංගීතය අධ්‍යක්‍ෂණය කර ඇත. "අරුංගල්" ටෙලි නාට්‍යයේ සංගීතය වෙනුවෙන් 2010 දී රයිගම්, සුමති හා සිග්නස්‌ සම්මාන ඔහුට හිමිවිය.

අප මෙතෙක් කතා කළ ප්‍රවීණ සංගීතවේදී සරත් වික්‍රමයන්ට උපහාර පිණිස රූකාන්ත ගුණතිලක ගයන මේ ගීය ඔබ වෙතට ගෙන එන්නෙමු.

මුතු කැට වැටෙනා පෝරුව අබියස
මනමාලියනේ හඩනු එපා
රන් කෙණ්ඩිය සෙත් පැන් විසිරී දා
විල්ලුද රන්පට තෙමනු එපා..

රන් පලසේ මිණිකැන් වැස්සේ
මංගල මධුසමයේ
රෑ...
මුහුණු වසාගෙන කඳුලු සලන්නට එපා
කිසි දිනෙක යෙහෙලියේ..

රෑ යහනේ නිදි පෙම් සිහිනේ
මංගල මධුසමයේ
රෑ...
ඈත බලාගෙන කඳුලු සලන්නට එපා
කිසි දිනෙක යෙහෙලියේ..

පද: ?
තනු: සරත් වික්‍රම
හඬ: රූකාන්ත ගුණතිලක

Video: http://www.youtube.com/watch?v=ek-YYIvPx2k
Audio: http://www.mediafire.com/?ys1yz18abu5ktxd

සරත් වික්‍රමයන් පිලිබඳ තොරතුරු දිවයින පුවත්පත ආශ්‍රයෙනි.

(මෙම ගීතය පිළිබඳව ඔබ දන්නා දේ අප සමඟ බෙදාගන්න.)

No comments:

Post a Comment

මේ ගීතය ගැන ඔබ දන්නා දේ සහ ඔබගේ අනෙකුත් අදහස් අප සමඟ බෙදාගන්නා වූ ඔබට බොහෝම ස්තූතියි.